"සුදුවැන් රැවුල් කිඹුලා" නමින් ප්‍රකටවූ මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස නියමකරමින් හිටපු අමාත්‍ය රාජීත සේනාරත්න මහතාට සිතාසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු, පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැතැයි සඳහන් කළ
කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග  දිසානායක මහතා එම ඉල්ලීම ඊයේ (05) ප්‍රතික්‍ෂේප කළේය. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (අ) වගන්තිය යටනේ පැමිණිලිකරු විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු මාධ්‍ය සාකච්ඡාවක හෝ පුවත්පතක දැනගත් තොරතුරු වන අතර, පැමිණිලිකරු නිශ්චිතව දැනීමක් නොමැති බැවින් චූදිතට එරෙහිව සිතාසි නිකුත් කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නැතැයි මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය. මිනිසුන් පැහැරගෙන ගොස් මරා දමන ලද කණ්ඩායමක සාමාජිකයකු බව දනිමින් ශ්‍රී ලංකා  ජනරජයේ මන්ත්‍රීවරයකු සහ අමාත්‍යවරයකු වශයෙන් එ තොරතුරු පොලීසියට දැනුම් දීම පැහැර හැරිමෙන් වරදක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සිතාසි නිකුත් කරන ලෙසට  අධිකරණයෙන් කර තිබූ ඉල්ලිමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා
එම  ඉල්ලීම එලෙස ප්‍රතික්ෂේප කළේය.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත 136 (1) (අ) වගන්තිය යටතේ නීතිඥ පි. අචිනි දි. කුලරත්න මහත්මිය මගින් ගම්පහ පදිංචි නීතිඥ කලුදේවගේ අයිලිච් ජනජිත් ද සිල්වා මහතා මෙම පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ඉකුත් නොවැමබර් මස 14 වැනිදාය. සිය නියෝගය ප්‍රකෘශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ ද ප්‍රකාශ කළේය. මෙම නඩුව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (අ) වගන්තිය ප්‍රකාරව පැමිණිලිකරු විසින් පවරා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් වෙනත් අයකු මාධ්‍ය සාකච්ඡාවක් සදහා රැගෙන විත්, මෙම පුද්ගලයා මිනිසුන් රැගෙන ගොස් මරා දමන කණ්ඩායමක සාමාජිකයෙක්. ඔහු විසින් සිදුකරමින් ඇති බව කියන පුද්ගලයින් මරා දැමීම ආදී වැරදි සිදුකර ඇති බවත් එම සැකකරු පොලිසියට බාර නොදී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 199 යටතේ වරදක් සිදුකර ඇති බවය. එවැනි අපරාධකරුවකු සඟවා සිටීම හෝ රැකවරණය ලබාදීමෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 104 වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇති බවය. චූදිතට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 (1) ප්‍රකාරව සිතාසි නිකුත් කිරීමට ප්‍රමාණවත් කරුණු සලකා බලා සිතාසි නිකුත් කිරිම සම්බන්ධයෙන් නියෝග ප්‍රකාශයට පත්කිරීමට අද දිනට යෙදී ඇත.

පැමිණිලිකරු විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ චූදිත ලෙස නම් කර තිබෙන තැනැත්තා වෙනත් පුද්ගලයකු විසින් හෙළිදරව් කළ කරුණුය. මෙහිදී පළමුව සලකා බැලිය යුත්තේ එම කරුණු සත්‍යය ද යන්නය. එම කරුණු සත්‍ය නම් පමණක් චූදිත එම වරදට වරදකරු බව පෙනී යයි. නමුත් යම් පුද්ගලයකු මරා දමනු ලැබුවේ කවරකු ද? පැහැර ගැනීමක් සිදුකරනුයේ කවරක්ද? යන්න හෙළිදරව් කර නැති සත්‍ය
වශයෙන්ම එම සිද්ධිය හෙළිදරව් වී නොමැති තත්වයක දී වරදකරුවකු කිරීම සුදුසු නොවේ. ඔහු එම වරච සිදුකිරීම හෝ සිදුකරනු ලැබුවේ කුමන පුද්ගලයකු ද යන කරුණු සඟවා සිටීම හෝ රැකවරණය සැලසීම සම්බන්ධව චූදිතට එරෙහිව වරදක් නැඟීම සුදුසු නොවේ. මෙම පැමිණිලේ විත්තිකරු ලෙස ස්ටැන්මෝ ක්‍රෙෙසන්ට්, කොළඹ 07 ලිපිනයැති හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නම් කරමින් ඔහු ලංකං දණ්ඩ නීති සංග්‍රහයේ 199, 209 යන වගන්ති උල්ලංඝනය කරමින් වරදක් සිදුකර ඇති බැවින් අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහු වෙත නොතසියක් නිකුත් කරන ලෙසට පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

2019 නොවැමබර් මස 10 හෝ ඊට ආසන්න දිනයක දි ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු නම් පුද්ගලයකු මිනිසුන් පැහැරගෙන ගොස් මරා දමන ලද කණ්ඩායමක සාමාජිකයකු බව දනිමින්ම සහ හෝ දැනගැනීමට හේතු තිබිය දී ශ්‍රී ලංකා ජනරජයේ මන්ත්‍රීවරයකු සහ අමාත්‍යවරයකු වශයෙන් ඉහළ කී පුද්ගලයා පිළිබඳව තොරතුරු පොලිසියට දැනුම් දීම පැහැර හැරීමෙන් විත්තිකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 199 වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් කළ බවට පැමිණිල්ලේ පළමු චෝදනාව වශයෙන් සඳහන් කර තිබිණි. එසේම, ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු නමැන්නාට සැගව සිටිමට සහ හෝ පලා යාමට උපකාර කිරිමෙන් මහ නඩ කිරිමෙන් හෝ පලා යාමට  උපකර කිරීමෙන් හෝ නඩත්තු කිරිමෙන් හෝ රැකවරණය සැපයීමෙන් විත්තිකරු විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ දඩුවම ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව ද දෙවැනි චෝදනාව වශයෙන් පැමිණිල්ල සදහන් කර ඇත.

-නිමන්ති රණසිංහ-