පසුගිය රජය විසින් දේශපාලන හේතූන් උඩ විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවයට පත් කරන ලද සියලු දෙනාටම ආපසු දිවයිනට පැමිණීමට මේ මස අවසන් වන තුරු කල් දී ඇතැයි විදේශ සබඳතා
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පැවසීය. පසුගිය රජය විසින් මෙවැනි පත්වීම් 20කට වැඩි සංඛ්‍යවක් දී ඇතැයි කී ඇමැතිවරයා ඔවුන් සියලු දෙනාම ආපසු කැඳවමින් පසුගිය සතියේ දැනුම්දීමක් කළ අතර, ඔවුන්ට ආපසු පැමිණීමට මේ මාසය අවසන් වන තුරු කල් දී තිබෙන බවත්, ඇතැමුන් මෙහි
පැමිණීමත් සමග ඔවුන්ගේ සේවයත් අවසන් වනු ඇති බවත් කීය. විවිධ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාවල සේවයේ යෙදී සිටින විදේශ සේවයේ තානාපති නිලධාරීන්ගේ සේවා ස්ථාන මාරුවක් සිදුවනු ඇතැයි ද ඇමැතිවරයා කීය.

විවිධ රටවල ශ්‍රි ලංකා තානාපති කාර්යාලවල සේවයේ යෙදී සිටින විදේශ සේවයේ තානාපති නිලධාරීන්ගේ සේවා ස්ථාන මාරුවක් සිදුවනු ඇතැයි ඇමතිවරයා කීය. ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට කලින් දැනට එහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාගේ වෙනසක් සිදු වනු ඇතිදැයි විමසූ විට ඇමැතිවරයා පැවසුවේ, ජිනීවාහි වැඩපිළිවෙළ පිළිබඳව ළගදීම සාකච්ඡා කරන බවත්, කිසියම් වෙනසක් සිදුවන්නේ නම් එය ආපසු සිදුවන බවත්ය.

-කැළුම් බණ්ඩාර-