https://www.gossiplankanews.com/2019/12/rajitha-warrent.html
සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැරගෙන යෑම, වධහිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, අයුතු සහගත සිරකර තැබීම, සොරකම් කිරීම, තොරතුරු ඕනෑකමින් නොදීම, සැකකරුවන්ට නවාතැන් දීම ආදිය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද අනාවරණය සම්බන්ධයෙන්
සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා ඊයේ (24දා) වරෙන්තු නිකුත් කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත හිටපු අමාත්‍ය  රාජිත සේනාරත්න සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන්
සැකකරුවකු ලෙස නම් කිරීමෙන් අනතුරුව අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම නියෝගය ඉල්ලා සිටියේය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීමට පෙර 1997 අංක 30 දරන ඇප පනතේ 21 වගන්ති ප්‍රකාරව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප
ඉල්ලා තිබෙන  බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දැක්වීය.
ඒ අනුව එම ඇප පනතේම 25 වැනි වගන්ති ප්‍රකාරව ඔහුව අත්අඩංගුවට ගැනීමට මහෙස්ත්‍රාත්වරයකුගේ
අවසරය ඉල්ලා සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දැක්වීය.

එසේම මෙම අය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113 (අ), 169 (උ), 190 හා ජනාධිපතිවරයා
තෝරා පත් කර ගැනීමේ පනතේ 81 (ඒ) වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදුකර ඇති බවත් ඒ
අනුව මෙම අය සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට
නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව කරුණු

සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය
රාජිත සේනාරත්න මහතා ද නීතිපතිවරයා විසින් සැකකරුවකු ලෙස නම් කර ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කළේය.
අංක 1068/ඒ, කුමාරගේ මාවත, බත්තරමුල්ල ලිපිනයේ පදිංචි සිංහපේ සංවිධානයේ ජාතික සංවිධායක
ගංගොඩවිලගේ කුමුදු ප්‍රදීප් සංජීව පෙරේරා යන අය විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට අනුව  අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.
එම විමර්ශනවලින් අනාවරණය වූ කරුණු අනුව සැකකරුවන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
ඉකුත් 23දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුගේ විදෙස් ගමන් වළක්වාලමින්
නියෝගයක්ද ලබා ගෙන තිබිණි.

හංසි නානායක්කාර