පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද එසේ නොමැතිනම් ඒක්සත් ජාතික පක්‍ෂයද කියා සිතාගත ගතනොහැකි ආකාරයේ සිදුවීම් නීර්මාණය වෙමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා
විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම තුළ බැදුම්කර වංචාවට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග ප්‍රමාද කරමින් විපක්ෂනායක ධුරය සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව තිබූ අන්බුදය විසදීම සදහා කාලයක් ලබාදී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය. බැඳුම්කර වංචාකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවටත්,
රනිල් වික්‍රමසිංහ එළවිය යුතු බවටත් ජනාධිපතිවරණ වේදිකා තුළ අදහස් පළ කරමින් ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වූ ජාතිකවාදී කොටස් බැඳුම්කර වංචාව වැනි ප්‍රධාන කරුණු අතහැර තාප්පවල චිත්‍ර ඇඳීම, අත්සන් කිරීමෙන් පසු පෑන පෙට්ටියට දැමීම, කොළඹ නගරයේ බල්ලන් මරාදැමීම, යාචකයන් අත්අඩංගුවට ගැනීම, පදික වෙළෙන්දන් සහ සංචාරක වෙළන්දන්ට තහනම් නියෝග පැනවීම ගැන සතුටු වෙමින් සිටින බවද හෙතම ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉහළින් කතා කළ ලිබරල් කොටස් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම ගැන නිහඬ බවත්, ඒ අය මීට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ පුටුව ආරක්ෂා කිරිම අර්ථ දක්වා තිබුණු බවත් ජයගොඩ මහතා කීය. පසුගිය ඔක්තෝබර් 26 සිද්ධියේදීද බැඳුම්කර වංචාව සහ එක්සත් ජාතික පක්‍ෂයේ බල අරගලය යටගිය බවද ඒ මහතා පැවසීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (03දා) කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා,

"වත්මන් ආණ්ඩුව ආර්ථික තලයේදී සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, පිලිපීනය වැනි රටවල් ගෙනගිය ක්‍රමය ගෙන යනවාද කියා අපට පැහැදිලි
අවදානමක් තිබෙනවා. ආසියානු මොඩලයේ ධනවාදයක් ලංකාවට ගේන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා. එම ආසියානු දේශපාලන මොඩලයේ ස්වරූපය දැන් ලංකාවේදී දැකගත හැකියි. සිංගප්පූරුවේ දේශපාලන ස්වරූපය අනුව විපක්ෂනායකවරයාත් පත් කරන්නේ ආණ්ඩු පක්ෂයෙන්. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යාංශවල මෙහෙයුම් කමිටුවලට ගන්නවා. ඒ අයටත් අමාත්‍යංශ මෙහෙයවන්න ඉඩ දෙනවා. අවසානයේදී ආණ්ඩු පක්‍ෂයයි විපකෂයයි කතා කරලා තමයි සියලු කටයුතු සිදුකරන්නේ.

ඇත්තටම විපක්‍ෂයක් ඒ රටේ නැහැ. විපක්‍ෂ නායකවරයා කියන්නේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ රූකඩක්. ඒම සිංගප්පූරු ආදර්ශය ලංකාවට ගේන්න උවමනා කරන අභ්‍යාසයක්ද මේ කරන්නේ කියන අවදානම බරපතළ ලෙස දැනෙනවා. දැන් තිබෙන්නේ සැබෑ ප්‍රශ්නය යට ගහලා වෙන දේවලින් සතුටුවෙමින් ඉන්න තත්ත්වයක්. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට අදාළ ප්‍රශ්නය මතුවෙදී මෙතෙක් කල් පොදුජන පෙරමුණ ඇතුළු ජාතිකවාදී කණ්ඩායම විසින් විවේචනය කරමින් තිබූ ගිවිසුම් නැවත ක්‍රියාත්මක කිරීමේ හා එම ගිවිසුම් අත්සන් කිරීමේ සූදානමක් තිබෙනවා. එම්.සී.සී. ගිවිසුම ගැන රජයේ වගකිව යුත්තෙක් මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. මිලිටරී ගිවිසුමක් වන ඇක්සා ඉවත් වෙනවාද මිලිටරි ගිවිසුමක් වන සෝෆා ගිවිසුමට අත්සන් කරනවාද කියලා ආණ්ඩුව කිව යුතුයි. අපි මෙම ගිවිසුම්වලට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමටත්, විරෝධතා පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා" යනුවෙන් පවසා සිටියේය.

-අමිත් මධුරංග-