ඇමරිකාව විසින් මේ රටට හඳුන්වාදී තිබෙන එම්.සී.සී. ගිවිසුමේ රට බෙදන, රටට අහිතකර කරුණු ඇතුළත්ව ඇතැයි ප‍්‍රකාශ කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් දැන් එම ගිවිසුම හොඳයි කියා
පවසන්නේ කුමන අරමුණකින්ද යන්න රටට පැහැදිලි කරන ලෙස එක්සත් ජාතිකපක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා ඊයේ (11 දා) කියා සිටියේය.

 මේ වන විට එම්සීසී ගිවිසුමේ සාධනීය කරුණු සියයට හැත්තෑවක් පමණද, රටට අහිතකර කරුණු සියයට තිහක් පමණද ඇතැයි
ඔවුන් ප‍්‍රකාශ කරන බවත් එම හොඳ සහ නරක කරුණු රටට පෙන්වා දෙන ලෙස ඔවුන්ට අභියෝග කරන බවද කාවින්ද ජයවර්ධන මහතා ඊයේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

 ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

 පසුගිය ජනාධිපතිවරණයේදී අපේ පරාජයට එම්සීසී ගිවිසුම බලපෑමක් කළා. එහිදී පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ විපක්‍ෂය මේ ගිවිසුම හරහා අපිට විශාල ලෙස පහර දුන්නා.

 එහිදී උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන මහත්වරුන් මේ ගිවිසුම අත්සන් කළොත් රට දෙකඩ වෙනවා, කොළඹ වරායේ සිට ති‍්‍රකුණාමලය දක්වා ආර්ථික කොරිඩෝවක් නිර්මාණය වෙනවා, ඇමරිකානු අධිරාජ්‍යවාදය මේ රට පාලනය කරනවා කියලා විශාල ප‍්‍රචාරයක් ගෙන ගියා.

 එහෙම ගෙනගිය අය දැන් මේ ගිවිසුමේ හොඳයි නරකයි දෙකම තියෙනවා කියලා කියනවා. ඒ නිසා අපි කියන්නේ හොඳ මොනවද? නරක මොනවද? කියලා රටට හෙළි කරන්න. අපි එදා මේ ගිවිසුමෙන් රටට හානියක් වෙන්නේ නැහැ කියලා පෙන්වා දුන්නා. දැන් මේ අයත් ඒක පිළිගන්නවාද කියලා මම අහනවා.

 චමින්ද සිල්වා
  ඡායාරූපය - තුෂාර අතපත්තු