ජාත්‍යන්තර මට්ටමේ මත්කුඩු ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා රඳවා සිටින බුස්ස  බන්ධනාගාරයේ සිරකුටියේ දොරේ සගවා තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින්
කණ්ඩායමක් විසින් ඊයේ (2) අලුයම සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි එම බන්ධනාගාර  ආරංචි මාර්ග අනාවරණය කරයි.  වැලිකඩ බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තකට  සහභාගි කරවා සැකකරු නැවත බූස්ස බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත්තේ ඉකුත්දා
(30) බව ද පැවසේ.

ලැබුණු තොරතුරක් මත කොළඹින් ගිය බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම හදිසි සෝදිසි  මෙහෙයුම සිදුකර ඇතැයි එහි ප්‍රකාශකයෙක්  පැවැසීය.රැගෙන ගොස් ඇති බවට සැකකරන මෙම ජංගම දුරකථනය ඒ 1 දරන සිරකුටියේ දොර පළුවක සූක්ෂම ලෙස සගවා තිබී ඇති අතර මෙම සිරකුටියේ රඳවා සිටිනුයේ සැකකරු පමණක් බව ද දැනගන්නට තිබේ.

මිට ඉහත සැකකරුගේ පියා ඇතුළු ඥාතීන් කීප දෙනකු ආහාරපාන රැගෙන යන මුවාවෙන් කෑම බාස්කට් එක පතුලේ සගවා ජංගම දුරකතන 2ක් ඇතුළු උපාංග කිහිපයක්  බන්ධනාගාරයට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඒවා අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශ පරික්ෂණයක් ආරම්භ කර ඇත.

-ජයන්ත සමරකෝන්-