ගාල්ල කොටුවේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ බිත්තියක් ඉකුත් 7 වැනි දින රාත්‍රි සම්පූර්ණයෙන්ම කඩා වැටීමෙන් පසු අනතුරුදායක ඉතිරි කොටස් සියල්ල ද පැය විසි හතරක් ඇතුළත
ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස පැවති ගාල්ල  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගාලු උරුමය පදනමට ඊයේ (09) නියෝග කළේය. ඒ සඳහා ගාල්ල මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සහාය කර ගන්නා ලෙසත් කමිටුව උපදෙස් දුන්නේය. සම්බන්ධීකරණය කමිටුවේ සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම්  කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී රැස්වීම පැවැත්විණි.

ගොඩනැගිල්ල කඩාවැටීම සම්බන්ධයෙන් පැමිණ සිටි මැති ඇමතිවරුන් අදහස් දැක්වීමේ දී  ගාලු
උරුමය පදනමේ සභාපතිනි ඩී.කේ.එස්. ජයලක්ෂ්මි මහත්මිය කියා සිටියේ පසුගිය 6 වැනි දින අමාත්‍යාංශ ලේකමවරයා ද පැමිණ  සාකච්ඡාවක් පැවැත්වූ බවත් පෞද්ගලික අංශය ද සමග එක්ව මෙම ගොඩනැගිල්ල පලදායි කටයුත්තකට යොදා ගැනීමට එහිදී තීරණය කළ බවත්ය. ඒ සඳහා සැලසුම් සකස් කරන බවත් ඒ මහත්මිය කියා සිටියාය. ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වදසිංහ මහතා සභාවට දන්වා සිටියේ බිත්තියක් කඩා වැටීමත් සමග පාර වැසීමට පියවර ගත් බවත් තවත් කොටස් කඩා වැටීමට ඉඩ තිබෙන බවය. එවිට සභාපති චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුව ගම් සම්බන්ධයෙන් පියවර ගන්නේ නැතිනම් උරුමය පියවර ගත යුතු බවය.

වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ අනතුරුදායක කොටස් ඉවත් කළ යුතු බවය. ඒ අනුව අද දිනයේම ගොඩනැගිල් අනතුරුදායක කොටස් ඉවත් කළ යුතු බවට කමිටුව තීරණය කළේය. ඒ සඳහා පියවර ගන්නා ලෙස ගාලු උරුමයට උපදෙස් දුන් කමිටුව නාගරික සංවර්ධන අධිකාරිය, ගාල්ල මහ නගර සභාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආදී ආයතනවල සහාය ලබා ගත්තා ලෙසට ද උපදෙස් දුන්නේය.

-ඩී.ජී.සුගතපාල-