පෞද්ගලික සහ ලංගම බස්වල මගීන්ට පීඩාවක් වන අයුරින් අධික ශබ්දයෙන් යුතුව ගීත සහ විඩියෝපට වාදනය හෙට (1) සිට සම්පූරණයෙන්ම තහනම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අධික ශබ්දයෙන් යුතු ගීත හා විඩියෝපට බස්රථවල වාදනය කෙරෙන්නේ නම් ඒ පිළිබඳව ජාතික ගමනාගමන කොමිසමේ 1955 යන ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි කළ හැකි යැයි ඇමැතිවරයා සඳහන් කරයි.

අධික ශබ්දයෙන් ගීත
වාදනය කරන බස්රථවල රියැදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කොමිසමට උපදෙස් දී තිබේ. ලංගම හෝ පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය කිරිම, බස් රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුගේ අවිනීත හැසිරිම ආදිය පිළිබඳව ද 1955 දුරකතන අංකයට පැමිණිලි කළ හැකි යැයි අමාත්‍යවරයා කියයි.

මේ අතර සියලුම බස් රථ සඳහා සුභාවිත ගීත දාහකින් සමන්විත සී.ඩී. තැටි නොමිලේ බෙදා දිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. විද්වත් මණ්ඩලයක අධීක්‍ෂණය යටතේ තෝරා ගන්නා ලද එම සුභාවිත ගීත සහිත සී.ඩී. තැටි බස් රථ රියැදුරන් වෙත බෙදා දීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද (31) පෙරවරුවේ සිදුකෙරේ.

-මහින්ද නිශ්ශංක-