ලංකාව තුළ සුනඛයින් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් සිටින බව මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ එල්.ඩී, කිත්සිරි මහතා සදහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රත්නපුර නගරයේ පැවැති "ජලභීතිකාවෙන් තොර හෙටක්”ජාතික ජලභීතිකා මර්දන වැඩසටහනට එක් වෙමිනි.

දින දෙකක් (26 සහ 27) පැවැති මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සබරගමුව පළාත් සභාව සහ රත්නපුර මහ නගර සභාව එක්ව සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා සදහන් කළේ, වාර්ෂිකව බැල්ලියන් 61,000ක් පමණ වඳ සැත්කමට ලක් කර ඇති බවත්, ඒ සඳහා මෙම වර්ෂයේ රුපියල් ලක්‍ෂ 100ක් පමණ වැය වී ඇති බවත්ය.

මේ වසරේදී බල්ලන් සපාකෑමට ලක්වූ මිනිසුන් දෙලක්ෂ පනස්දහසකට ජභීතිකා එන්නත ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ 3500ක් පමණ මුදලුක් වැයවූ බවත්, ජලභීතිකා රෝගය වළක්වා ගැනීම සඳහා බල්ලන් ලක්‍ෂ 12කට රුපියල් ලක්ෂ 500ක් පමණ මුදලක් මෙම වර්ෂය සඳහා වැයවූ බවද වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා මෙහිදී පැවසිය.

ජලභීතිකා රෝගය හේතුවෙන් මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 26ක් පමණ වූ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

වැඩිම බලු ගහනයක් ඇති පළාත බස්නාහිර පළාත වන අතර, අඩුම බලු ගහනයක් ඇති පළාත වනුයේ නැගෙනහිර පළාතය.

මෙහිදී අදහස් දැක් වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබිබෑකඩුව මහතා පැවසුවේ, අයාළේ යන අත්හල, ආබාධිත සහ විවිධ රෝගවලට ගොදුරුවී සිටින සුනඛයින් සඳහා රැකවරණ මධ්‍යස්ථානයක් සබරගමුව පළාත තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

එය ජලභීතිකා එන්නත සදහා වැයකරන අතිමහත් ධනස්කන්ධය රැකගැනීමට රුකුලක් වනවා , මානවයා සමග වනාන්තරයෙන් එකට පැමිණ ජනාවාසවල වෙසෙන සුනඛයින් සඳහා කරන කෘතගුණ සැලකීමක්ද වන බව පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර මහත්වරුද එක්ව සිටියහ.

අජිත්ලාල් ශාන්තඋදය