තම තමන්ගේ දේශපාලන හා පෞද්ගලික න්‍යාය පත්‍රවලින් ඉවත් වී රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා පවතින ගැටලවලට සාකච්ඡාවෙන් විසඳුම් ලබාගන්නැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන්,
පරිපාලනයෙන් හා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (02) පැවසීය.

විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරිම සඳහා ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක් පත් කරන්නට අපේක්ෂා කරන බව කී  ඇමතිවරයා
ඒ තුළින් විශ්වවිද්‍යාලවල  ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් සහ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල  සම්බන්ධව පවතින ගැටලු ස්වාධීනව විසදීමට එම මණ්ඩලය යොදවන බව ද  සඳහන් කළේය. මෙම
විශ්ව විද්‍යාලවල පාලක සභාවෙන් ගන්නා තීරණ ආදිය සම්බන්ධයෙන් අගතියට පත්වන පාරිශවයන්ට මෙම  ස්වාධීන මණ්ඩලය මගින් සාධාරණිය ඉටු කරදීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා කීවේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය නියෝජිත කණ්ඩායමක් සමඟ එම අමාත්‍යාංශයේ දී ඊයේ (21) පැවති සාකච්ඡාවක දී ය.  තමන් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව පැවැත්වෙන රාජකාරී මට්ටමේ පළමු සාකච්ඡාව දුන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය නියෝජිතයන්ට බව කී අමාත්‍යවරයා එහිදී ඔවුන්ගේ සියලුම ගැටලු මට ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කිරීම පිළිබද සතුටට පත්වන බව ද සඳහන් කළේය.

රටේ අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳ පසුගිය කාලයේදී වියත්මග ආදී විද්වත් සංවිධාන සමග සාකච්ඡා කර පවතින අනතුරු සහ ගැටළු හඳුනාගෙන තිබෙන බව ද ඇමතිවරයා කීවේය.ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක වටිනාකම වත්මන් රජය හොඳින් හඳුනාගෙන ඇතැයි කී බන්දුල ගුණවර්ධන මහතා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවගෙන් නිසි ප්‍රයෝජනය ජාතිය වෙනුවෙන් ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගෙන ඇතැයි ද ප්‍රකාශ කළේය.
තමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී පාසල් සඳහා තාක්ෂණ විෂය හඳුන්වා දුන් බව කී බන්දුල ගුණවර්ධන මහතා විශ්වවිද්‍යාල තුළ ද මේ වන විට තාක්ෂණය පීඨ ඉදිවෙමින් පවතින බවත්,
එය රටේ විශ්වවිද්‍යාලවල විශාල පිම්මක් වනු ඇති බවත් සඳහන් කළේය.
සිසුන් උද්ඝෝෂණ වල නිරතවීමෙන් ඔවුන්ට මෙන්ම දෙමාපියන්ට, පරිපාලනයට මෙන්ම මහජනතාවටත් ගැටලු ඇති වන බව කී ඇමැතිවරයා හොඳම ක්‍රමය වන්නේ ගැටලු සාකච්ඡාවෙන් විසදා ගැනීම බව ද කීවේය.එම එක් උද්ඝෝෂණයකදිවත් නවීන ලෝකයට ගැළපෙන විදියට විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන් වෙනස් කරගැනීම, උගතුන්ට සරිලන රැකියාවක් ලබාගැනීමට හැකිවන පරිදි විශ්වවිද්‍යාල පාඨමාලා නිර්මාණය කිරීම ආදී මුස්ලිම් මතු නොවීම කනගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපනය පෞද්ගලිකරණය සම්බන්ධයෙන් තමාද විරුද්ධ බව කී අමාත්‍යවරයා සිසුන් විසින් ඉදිරිපත් කළ අධ්‍යාපනය වෙනුවෙන් අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍ය ණය ක්‍රමය පිළිබඳ හා මහපොළ ශිෂ්‍යාධාර පිළිබඳ ගැටලු. විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු වැඩිවීම, ශිෂ්‍යභාවය අහෝසි කිරීම, සියලුම විශ්වවිද්‍යාලවල මේ වනවිට නවත්වා තිබෙන ප්‍රායෝගික පරික්ෂණ, මඩකළපුව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය පිළිබද ගැටලු. අධ්‍යයන සුබසාධනය පිළිබඳ ගැටලු ආදිය පිළිබඳ අවධානය යොමු කර ඒවා අධ්‍යයනයෙන් පසුව සෑම විශ්වවිද්‍යාලයකම දරුවන් සමග සාකච්ඡා කරන ඛව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.  උපකුලපතිවරුන් ඇතුළු පාලන අධිකාරිය හා සිසුන් ඇතුළු අවශ්‍ය අනෙකුත් පාර්ශවයන් සමඟ එකම
මේසයක සිට අදාළ ගැටලු පිළිඛඳ සාකච්ඡා කර විසඳුම් සෙවීමට තමන් සූදානම් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
ශිෂ්‍ය ගැටලු සඳහා පියකු මෙන් විසඳුම් ලබාදීමට තමා බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා පැවසී ය.අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර යන මහත්වරුද, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුමීකරු රකීකරවේ ජිනරතන හිමියෝ ද ඒ ඒ විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන් ඇතුළු ශිෂ්‍ය නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
 (ඩයනා උදයංගනී)