ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලිමට අදාළ ලිපි ලේඛන රැසක් තිබෙන නිසා ඒවා අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව සිංගප්පුරුවේ නීතිපති දෙපාර්තමේන්තුව රජයට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා බැඳුම්කර වංචාව පිළිබඳව නඩුව විභාග කරන
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනීසුරු මඩුල්ලට ඊයේ දැනුම් දුන්නේය.  නීතීපති වෙනුවෙන් මෙසේ දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතාය. මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී නඩුවේ 10 වැනි විත්තිකරු වන අජාන් ගාර්දිය පුංචිහේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විනිසුරු
මඩුල්ල සිතාසි නිකුත් කළේය.

නඩුවේ සැකකරුවකු වන පර්පවුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාට වෛද්‍යා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලබන 06 වැනිදා සිට ලබන ජනවාරි 06 වැනිදා  දක්වා සිංගප්පූරුවට යාමට අවසර දුන් විනිසුරු මඩුල්ල ඔහුගේ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 25 බැඟින් වන පෞද්ගලික ඇප දෙකක් මත මුදා හැරිමටද නියෝග කළේය. මෙම නඩුව සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මිලගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගවෙයි. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කරුණු දක්වමින් කියා සිටියේ දැනට අධිකරණය මඟහරිමින් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට රජය යොමු කළ ලිපි ලේඛන සිංගප්පූරු නිතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවය.

මෙම ඉල්ලිමට අදාළ ලිපි ලේඛන රැසක් තිබෙන හෙයින් ඒවා වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය යැයි සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව රජයට දන්වා තිබේන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලිම සිංගප්පූරු නීතියට අනුකූලදැයි සොයා බලා එරට අධිකරණයෙන් සුදුසු නියෝගයක් ලබා දෙනු ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැපුම් දුන්නේය.  සියලු කරුණු සලකා බලූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නඩු ලබන මාර්තු 31 වැනි දින යළි කැඳවීමට නියෝග කළේය. 2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදි රුපියල් බිලියන 10.055ක වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීම, කුමන්ත්‍රණය හා ඊට ආධාර අනුබල දිම මඟින් පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ වරදක් කර ඇති බවට මෙම නඩුලට විත්තිකරුවන්ට එරෙහි නීතිපතිවරයා චෝදනා ගොනු කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් වන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පි. සමරසිරි, පර්පවුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙරී ජෝශප් ඇලෝසියස්, එහි අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝෂියස්. එස්. ගුණවර්ධන, රංජන් හුළුගල්ල සහ ඒ.ජී. පුංචිහේවා යන හත් දෙනාය.

-තිළිණි ද සිල්වා-