ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා පළ කළ බවට චෝදනා කරමින්, ඩුබායිහිදී අඩංගුවට ගත් එරට සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ
තීන්දුව 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට ඩුබායි අධිකරණය ඊයේ (11) වැනිදා නියම කළ බව තානාපති ආරංචි මාර්ග සඳහන්  කරයි. ලාංකිකයන් තිදෙනාට එරෙහිව එම නඩුව ඩුබායි අධිකරණය හමුවේ ඊයේ  11 වැනිදා සලකා බැලූ අතර එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තඛා ඇති බවද
එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ ඉස්ලාම් ආගමට අපහස කළ බවට එල්ල වන චෝදනා සැකකාර ශ්‍රී ලාංකිකයන් තිදෙනා විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් එරට අධිකරණයට හමුවේ වැඩිදුරටත් කියා සිටියේ, තම රට තුළ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ බවය. කරුණු සලකා බැලූ ඩුබායි අධිකරණය අදාළ නඩු තීන්දුව ලබන 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට දින නියම කළේය.

ඩුබායිහි සුපිරි හෝටල් සංකීර්ණයක ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි මොවුන් තිදෙනා ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව, ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිය ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළකර ඇති බවට එම හෝටලයේ සේවකයන් විසින් පසුගිය මැයි මාසයේදී එරට පොලිසියට පැමිණිලි කර තිබුණි. ඒ අනුව අත්අඩංගුවට ගැනුණ තිස්දෙනා ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානවල තිබි ඔහුගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් යන්ත්‍ර ද විමර්ශන කටයුතු සඳහා පොලිස් බාරයට ගෙන තිබූ බව සඳහන්ය.

-තිළිණි ද සිලවා-