තනතුරු නොමැතිව දවසේ  පැය 24 තුළම නොනිදා වැඩ කරන බවට ජනාධිපතිවරණ වේදිකාවේ හඩ නැගු සජිත් ප්‍රේමදාස අභිනව විපක්ෂනායකට ධුරයට පත් වී සති 2ක් ගතවුවද විපක්ෂය වෙනුවෙන් මෙතෙක්  කිසිවක් සිදුකර නැතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්
මොහොමඩ් මුසම්මිල් මහතා පිටකෝට්ටේ දී පැවසීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අභිනව ජනාධිපතිත්වයට පත් වී මාසයක පමණ කාලයක් ගතවන අවස්ථාවේ රටේ ජනතාව තුළ ලොකු ප්‍රබෝධයක් හටගෙන ඇතැයි ද මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට පහරදුනේ යැයි කියන සිදුවීම එක්සත් ජාතික පක්‍ෂය හොඳ නාටකයක් බව මේ වනවිට තහවුරු වී ඇතැයි ද ඔහු කීවේය. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේදී පෙරේදා (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුසම්මිල් මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

"පසුගිය යහපාලන රජය විශාල මුදලක් වියදම් කර මාධ්‍ය තුළ දැන්වීම් පළ කරමින් රටේ නිදහස් වටපිටාවක් ඇති බවට ජනතාව තුළ උනන්දුවක් ඇති කරවන්න උත්සාහ කළා. එහෙත් එය ඇති කරවන්න ඔවුන්ට නොහැකි වුණි.
නව ජනාධිපතිවරයා පත් වී සති කිහිපයක් තුළ එම උනන්දුව රටේ ජනතාව තුළ ඉබේම හටගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය ඉන්න හිතෙන රටක් ගැන කතා කරාට අපේ රට ඉන්න හිතෙන රටක් බවට පත්වූයේ නව ආණ්ඩුව පත් වී ගත වූ මාසයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමත් සමග රටටම නව ජීවයක් ලැබුණි. එහෙත් අපේ රට අරාජික කිරීමට දෙමළ ඩයස්පෝරාව ඇතුළු බටහිර රටවල් කිහිපයක් උත්සාහයක නිරත වන බවට තොරතුරු ලැබී තිබෙනවා. එම තොරතුරු අදාළ අංශවලට අප දැනගත් අවස්ථාවේම දැනුම් දුන්නා. යහපාලන ආණ්ඩුව අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුව රණවිරුවන් දඩයම් කිරීම සඳහා භාවිත කළා. නීතිය පසිඳලන ආයතන දේශපාලන වුවමනාවන් සම්පූර්ණය කරගැනීම සඳහා
යොදා ගැනිමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.

තම අපේක්‍ෂකයා අනිවා‍ර්යෙන්ම පරාජයට පත් වන බව සමික්ෂණ වාර්තා 3කින් ජනාධිපතිවරණයට පෙර තහවුරු කර තිබු බව එක්සත් ජාතික පක්‍ෂ නායකයා පසුගියදා සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කළා. එවැනි දුර්වල නායකයෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් එජයට අප ස්තුති කළා. එලෙසින් අප ස්තූතිය පුද කරන්නේ එජාපය තවදුරටත් මෙරට පාලන බලයේ සිටියා නම් අනාගත දරු පරපුරට ශ්‍රී ලංකාව අහිමිවීම වන නිසයි.  එළඹෙන මහමැතිවරණයට වෙනම සමීක්‍ෂණ අවශ්‍ය නැහැ. ඉදිරි මැතිවරණය බහුතර ජන වරමකින් ජයග්‍රහණය ලබන්නේද පොදුජන පෙරමුණ බව දේශපාලනය දන්නා ඕනෑම පුද්ගලයකුට වැටහෙනවා.
පරාජයේ අමිහිරි අත්දැකීම විඳගැනීමට එජාපයේ අග්‍රාමාත්‍ය අපේක්‍ෂක ධුරය සජිත් ප්‍රේමදාස හට ලබා දීමට එම පක්‍ෂය තීරණය කරමින් යනවා. ඔහුගේ එම තිරයට අපි ගොඩක් කැමතියි. එක්සත් ජාතික පක්‍ෂයට යළිත් මෙරට පාලන බලය ලබාගැනීමට කිසිදු අවස්ථාවක් නැහැ. එජාපයේ අභ්‍යන්තර අර්බුද මේ වනවිට උඩු දුවා තිබෙනවා. එම පක්‍ෂය දෙකඩ වී යාම කිසිවකුටත් වළක්වන්න බැහැ.

දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ ජනතාව තුළ වසර ගණනක සිටම ජාතිවාදය වපුරමින් යනවා. ඔවුන්ගේ වුවමනාව අපේ රට දෙකඩ කිරීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔවුන් දෙමළ ජනතාවගේ ඡන්ද කොල්ලකෑවේ ජාතිවාදය වපුරයි.තවදුරටත් දෙමළ ජනතාව රවට්ටන අපි ඉඩ දෙන්නේ නැහැ. එමෙන්ම කිසිදු අවස්ථාවක රට දෙකඩ කිරිමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිත්වයේ සිටින තුරු ඉඩක් නැහැ." මෙහිදී මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න සහ ඊට මුසම්මිල් මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන සිටියාද?
පිළිතුරු - වසර කිහිපයක් අපේ පක්ෂයේ සාමාජිකයකු ලෙස  කටයුතු කළා.

ප්‍රශ්නය -ඔහුට ඔබලා තනතුරු ලබා දුන්නාද?
පිළිතුර - රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිත්වය විමල් විරවංශ අමාත්‍යවරයා ලබා දුන්නා. ඔහු දැන් අපේ පක්ෂයේ  සාමාජිකයකු නෙමෙයි.