දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා නේපාලයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙක් ඩෙංගු උණ වැළදීම නිසා රෝහල්ගත කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම භාර වෛද්‍යවරයා ලෙස එහි ගොස් සිටින වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවැසුවේ ඔවුන් අතුරින් එක් ක්‍රීඩිකාවක අසාධ්‍ය තත්වයෙන් පසුවන හෙයින් ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

මෙය ඉතාමීත් අවාසනාවන්ත තත්වයක්. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනාගෙන් වැඩි දෙනෙක් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ.
අපි ඔවුන්ගේ තත්ත්වය ගැන ඉතාමත් විසිල්ලෙන් සිටිනවා. ඔවුන්ගේ රුධිර පට්ටිකා සංඛ්‍යාව සෑම විටම වෙනස් වෙමින් තිබෙනවා යැයි වෛද්‍ය ඒකනායක මහතා පැවැසීය. රෝහල්ගත කරනු ලැබ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර කෙටි ධාවන ශූරියක වන නදීෂා රාමනායක, වේග පන්දු ක්‍රීඩිකා බිමන්දි බණ්ඩාර, මලල ක්‍රීඩකයන් එන එම්.යු. කුමාර සහ එස්.පී.ජේ. බණ්ඩාරද වෙති. පාපන්දු ක්‍රීඩිකා ගයාත්‍රි නානායක්කාරගේ තත්වය තරමක් බරපතළ වූ හෙයින් ඇය පොකාරා නුවර සිට කත්මණුඩු නුවරට ගුවන් මඟින් ගෙනැවිත් කෙලින්ම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවාය. රෝගාතුරවූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලු දෙනාම දශරත් ක්‍රීඩාංගණය අසන්නයේ පිහිටි බ්ලු ක්‍රොස් රෝහලේ ප්‍රතිකාර ලබයි.

රන් පදක්කම් සහ රිදී පදක්කමක් දිනාගත් මලල ක්‍රීඩිකාවක වන අමාශා ද සිල්වා ඩෙංගු උණ හේතුවෙන් පෙරේදා (07) රෝහල්ගත කරනු ලැබුවාය. මේ අතර මලල ක්‍රීඩා කණ්ඩායම් පුහුණුකරුවන් දෙදෙනෙකුටද ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක පළකෙරෙයි. ඔවුන් තිදෙනාටම උණ වැළඳී තිබිණි. උද්ගතවී ඇති තත්ත්වය ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ලාල් ඒකනායක මහතා මෙසේද කීය. නේපාලයේ සෞඛ්‍ය බලධාරින්ට ඩෙංගු වගේ සාගත රෝගී තත්ත්වයකට මුහුණ දෙන්න කිසිම සුදානක් තිබුණේ නෑ. මොකද ඔවුන්ට මේ වගේ රෝගින් හමුවෙන්නේ ඉතාම කලාතුරකින්.

'අපට තියෙන ප්‍රධානතම ප්‍රශ්නයත් ඒකමයි' එනිසා නේපාලයේ සෞඛ්‍ය නිලධාරින් සමග කළ සාකච්ඡාවලින් පසුව කොළඹ සිටින වෛද්‍ය කණ්ඩායමක සහාය ලබාගැනීමට නේපාලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව මෙය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමක් වීඩියෝ දුරකථන මඟින් නේපාලයේ සිටින වෛද්‍යවරුන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා සම්බන්ධවේවි. ඒ අනුව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩිදුර ප්‍රතිකාර කිරිමට නියමිතය. මේ අතර නදීෂා රාමනායක සහ බිමන්දි බණ්ඩාර දෙදෙනාගේ තත්වය සුව අතට හැරෙමින් තිබෙන බව වාර්තාවේ.