රජයේ පාසලක අ.පො.ස. උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන 18 හැවිරිදි ශිෂ්‍යයාවක වතුපිටිවල මූලික රෝහල් වැසිකිළියක් තුළදී ඊයේ (2) උදෑසන පිරිමි දරුවකු ප්‍රසූත කළ බව නිට්ටඹුව මුලස්ථාන
පොලිසිය පවසයි. බිහිකරන ලද දරුවා ශිෂ්‍යාව වැසිකිළියේ පිටුපස කවුළුවකින් බිමට දැමීම නිසා දරුවා රෝහල් වාට්ටුවකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවද පොලිසිය කියයි. උදරාබාධයක් බව පවසමින් මෙම ශිෂ්‍යයාට සිය මව සහ ආච්චි සමඟ විතුපිටිවල මූලික රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයට පෙරේදා (2) උදෑසන පැමිණ තිබේ.

සිසුවිය රෝහලට පැමිණ කෙටි වේලාවකින් මූලික ප්‍රතිකාර ඒකකයේ වැසිකිළි පද්ධතියේ වැසිකිළියකට ගොස් මෙසේ දරුවා බිහිකර ඇති බව පොලිසිය කියයි.  එම අවස්ථාවේ සිසුවියගේ මව සහ ආච්චි අම්මා වැසිකිළියේ දොර අසල රැඳී සිට ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.  වැසිකිළියේ පිටුපස බිත්තියේ අඩි 4 1/2 ක් පමණ උසකින් පිහිටි කවුළුවකින් දරුවා පිටතට දැමීමේදී වැසිකිළිය හා සම්බන්ධ කොන්ක්‍රීට් තට්ටුවක්  මතට දරුවා ඇද වැටී ඇති බව  මේ පිළිබඳ පරීක්‍ෂණය පවත්වන පොලිස් නිලධාරීහු පවසති.  වැසිකිළියේ පිටුපස කොන්ත්‍රීට් තට්ටුවක් මත දරුවෙකු සිටිනවා දැක කලබලයට පත්ව ඇති රෝහලේ පිරිසුදු කිරීමේ අංශයේ සේවිකාවන් ඒ පිළිබඳව හෙදි නිලධාරිනියකට කරන ලද දැනුම් දිමකට අනුව හෙදි නිලධාරිනිය වහා වැසිකිළිය පිටුපසට ගොස් දරුවා මූලික ප්‍රතිකාර ඒකකයට රැගෙනවිත්  මූලික ප්‍රතිකාර ලබාදී ඇත. වෛද්‍ය නිර්දේශය මත දරුවා රෝහලේ නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇතත් එහිදී කෙටි වේලාවකින් දරුවා මියගොස් තිබේ.

දරුවා බිහිකළ සිසුවියට පසුගිය සතියේ පාසල් ශිෂ්‍ය  නායිකාවක් ලෙස නිල ලාංඡන පළඳවා ඇති බවද, ඇය රෝහල් ගතවීමට පෙරදින දක්වාම පාසල් ගොස් ඇති බවද මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. සිසුවිය බිහිකරන ලද දරුවාගේ පියා වේයන්ගොඩ ප්‍රදේශයේ  පිහිටි රජයේ පාසලක අ.පො.ස. උසස් පෙළ පන්තියක දැනට ඉගෙනුම ලබමින් පසුවන 18 හැවිරිදි ශිෂ්‍යයකු බවට සැකකරන බවද මෙම ශිෂ්‍යයා සහ සිසුවිය වසරක පමණ කාලයක සිට පෙම්වතුන් ලෙය ඇසුරු කර ඇති බවද පොලිසිය කියයි.

සිසුවිය පෙරේදා (2) දහවල් වතුපිටිවල මූලික රෝහලේදි පොලිස් අත්අඩංගුවට පත්විය. නිට්ටඹුවේ මූලස්ථාන පොලිසිය මේ පිළිබදව "බී වාර්තාවක්" මඟින් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමකට අනුව අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය පෙරේදා (2) සිසුවිය වතුපිටිවල මූලික රෝහලට ගොස් සිසුවිය දරුවා බිහිකළ වැසිකිළිය හා දරුවා වැටී සිටි කොන්ක්‍රීට් තට්ටුවද රෝහලේ මෘත ශරීරාගාරයේදි දරුවාගේ මළසිරුර නිරීක්ෂණය කරමින් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පවත්වා සිසුවිය මම මස 15 වැනි දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

-එස්.යු.ඩබ්ලිව්.කේ.ජයවර්ධන-