"පසුගිය කාලයේ රට පුරා රැස්වීම් තියමින් දිනපු අයත් පැරදුන අයත් රට සංවර්ධනය කරන්ගන්නේ කාහොමද කියලා ජනතාවට පෙන්නා දුන්නා. ඒ දිනපු අයත් පැරදුන අයත් එකට එකතු වලා රට හොඳ තැනකට ගේන්න නව ජනාධිපතිතුමාට සහාය දෙන්න කියලා මම ඉල්ලනවා.

අභිනවයෙන් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ආදිවාසී නායක පරපුරේ නායක විදියට මම හද පතුලෙන්ම සුභ පතන ගමන්ම යහපත් රටක් ගොඩනගන්නට ශක්තිය ධෛර්යය ලැබේවායැයි ආශිර්වාද කරනවා" ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පැවසීය.

දඹාන ආදිවාසී ගම්මානයේදී පෙරේදා (19දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා,
" මේ රටම ජාතියම බලාගෙන ඉන්නේ නව ජනාධිපතිතුමන් පරිසරය ආරක්ෂා කරමින්, රට, ජාතිය, ආගම සුරක්ෂිත කරමින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනතුරුයි. ඒ විශ්වාසය මිනිස්සු ළඟ තියෙනවා වල මමත් පෞද්ගලිකවම විශ්වාස කරනවා. ඒ විශ්වාසය රකිමින් රට විශාල සංවර්ධනයක් කරා ගෙන යයි කියලා.

මේ පාර ඡන්දයට අපේක්ෂකයෝ 35ක් විතර හිටියා.
ඒ නිසා ලොකු තරගයකුත් තිබුණා. ඒ හැමෝටමත් ජනාධිපති වෙන්නනත් බෑ. පරාජය වන කණ්ඩායමකුත් ඉන්නවා. මම දැක්කා පසුගියදා හොඳ දෙයක්. ඒ දෙයින් මම බොහෝ සතුටට පත් වුණා. ජනාධිපති තරගයියන් පරාජයට පත් වූ කෙනා තරගයෙන් ජයග්‍රහණයට පත් කෙනාට සුභ පැතුම් පතලා ආශිර්වාද කරනවා දැක්කා. ඒ වගේ දෙයක් දකින්නට ලැබීමෙන් මට හරියට සතුටක් දැනුණා. මිනිස්සු ඒ වගේ තැනකටයි පත් විය යුත්තේ, වෛරය,ක්‍රෝධය, තෘෂ්ණාව තියාගන යහපාලනය කරන්නත් රට කරවනත් බෑ.

මම ඒ දැක්කේ හොඳ මිනිසෙකුගේ තිබීය යුතු ගුණධර්මයක්.පසුගිය කාලයේ රට පුරා රැස්වීමි තියමින් දිනපු අයත් පැරදුන අයත් රට සංවර්ධනය කරන්නේ කොහොමද කියලා ජනතාවට පෙන්වා දුන්නා. ඒත් දිනපු අයත් පැරදුන අයත් එකට එකතු වෙලා රට හොඳ තැනකට ගේන්න නව ජනාධිපතිතුමාට සහාය දෙන්න කියලා මම ඉල්ලනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ හැමෝම එකට එකතු වෙලා රට ජාතිය, ආගම හා පරිසරය ආරක්ෂා කරමින් නව ජනාධිපතිවරයාට රට දියුණු කරන්න සහාය දෙයි කියලා.

පසුගිය කාලය පුරා අපේ වර්ගයේ ගැටලු ගැන විශාල වශයෙන් මම කතා කළා. අපිට පමණක් නෙවෙයි රටේ සියලුම ජනතාවට පසුගිය කාලය පුරා විසඳා ගැනීමට ගැටලු රැසක් උද්ගත වෙලා තිබුණා.

නමුත් විශේෂයෙන් වැඩි අවධානයක් යොමු වුණේ ප්‍රධාන නගරවල ගැටලුවලට පමණයි. හැබැයි වැඩිම ගැටලු තිබුණේ පුංචි  ගම්වල ඒවාට අවධානය කොයිම කාලෙකවත් ලැබුණේ නෑ.
ඒ අයගේ ප්‍රශ්න විසඳුනෙත් නැහැ.

ඉදිරි වර්ෂ 05ට රටේ භාරකාරත්වය ගත්ත නායකයා විදියට, පුංචි පුංචි ගම්වල ගැටලු හශ්න වැඩි අවධානය ලක්කරමින්, ජාතියක් විදියට අපිට එල්ල වෙමින් තියෙන ගැටලු පිළිබඳවද, ආගමට ඇතිවේගන යන විනාශයන් පිළිබඳ අවධානය යොමු කරමින්, පරිසර විනාශකාරීන්ට නිසි දඬුවම් ලබාදෙමින් පරිසරය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දෙන්න කියලා අපි එතුමගෙන් ඉල්ලනවා.

ඒ වගේම පක්ෂ මාරු කරමින් මිනිසුන්ගේ ඡන්දයට හා විශ්වාසයට නිගරු කරන දේශපාලන නායකයන් හා දූෂණ වංචාවලින් තොර පිරිසක් එක්කරගෙන හොඳ ආදර්ශවත් දේශපාලන ගමනක් යන්න කියලත් මම නව ජනාධිපතිතුමන්ට ආරාධනා කරනවා." යැයිද පවසා සිටියේය.

මහියංගණ - රංජිත් කරුණාවීර