මවුවරුන් බලහත්කාරයෙන් වඳභාවයට පත්කළ බවට බරපතළ චෝදනාවක් එල්ල වූ නාරි හා ප්‍රසව වෛද්‍ය සාෆි සහබ්දීන් පිළිබඳ පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් අපක්ෂපාති ලෙස කටයුතු කර නැති නිසා ඒ පිළිබඳව යළිත් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ‘යුක්තිය උදෙසා මවුවරුන්ගේ සංවිධානය’ වත්මන් පාලනයෙන් ඉල්ලා සිටී.

එම සංවිධානයේ සභාපති නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා
සහ මවුවරුන් ඇතුළු පිරිසක් ඊයේ (26දා) කුරුණෑගල, හැගන්අවුට් හෝටලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් කතා කරමින් නීතිඥ ඉන්දසිරි සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

“ශානි අබේසේකර, අයි.පී. නිශාන්ත, සහකාර පොලිස් අධිකාරි තිසේරා, පොලිස් පරීක්ෂක ඉලංගසිංහ,
සැරයන් රාජපක්ෂ යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීන් විසින් ඉතාමත්ව නින්දිත ආකාරයෙන් මේ නඩුව සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලැබුවා.

විශේෂයෙන්ම අම්මාවරුන් වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ටීඅයිඩී) සම්පූර්ණ ලෙස බලය යෙදීමක් කළා. සාෆි බේරා ගැනීම සඳහා ශානි අබේසේකර මෙහෙය වූ නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නඩු සාක්ෂි නැති නඩුයි. ඔවුන් සාක්ෂි නිර්මාණය කරලා විවිධ අය මරණ දඬුවමට පවා ඒ බොරු සාක්ෂි
හරහා යොමුකර තිබෙනවා. එ් වගේම ජීවිතාන්ත සිරදඬුවම්වලට ලක් වූ අයත් සිටිනවා.
රටම ආන්දෝලයකට ලක් කළ වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධව හෙළි වූ කරුණු අතර අයථා ලෙස මුදල්
ඉපැයීමත් මවුවරු බලහත්කාරයෙන් ගබ්සා කිරීමත් අඩංගු වී තිබුණා. නමුත් මොහු සම්බන්ධයෙන් යළිත් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.”

කුරුණෑගල - ජයන්ත දිසානායක