තම නිල නිවසේ සේවය කරමින් සිටි 51 හැවිරිදි සේවිකාවකට අතවරයක් කිරිම සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් සම්පත්
රෝහණ ධර්මදාස මහතා එකී චෝදනාවෙන් නිදහස් කර මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය. කාන්තාවකට අතවර කළ බවට සැකකාර උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස්වරයාට එරෙහිව නඩු පැරීමට තරම් අවශ්‍ය කරුණු නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබුණි.

නීතිපතිවරයාගේ ඒ දැනුම් දිම මෝසමක් මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට ඉදිරිපත් කළේය. 2016 වසරේ දිනක සැකකරු මෙම අපරාධය කර ඇති බව අධිකරණයේදී කියවිණි.
සැකකරු අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ලෙස රාජකාරි කරමින්  සිටියදී ඒ තනතුරට අදාළ නිල නිවසේදී දී මෙම අපරාධය කර ඇති බවද පොලිසිය මුල් බී වාර්තාව මගින් අධිකරණයට දැන්වීය.

සැකකාර ඉඩම් කොමසාරිස්වරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා අධිකරණයට කියා සිටියේ අනුරාධපුර නගරයේ රජයේ ඉඩම් කොල්ලකෑම් ජාවාරමකට එරහිව සැකකරු අනුරාධපුර නාගරික කොමසාරිස්වරයාව සිටියදී දැඩි ක්‍රියාමාර්ග ගත් බවත්ය. ඊට උරණ වූ කණ්ඩායමක් කාන්තාවක් යොදවා සැලසුම් සහගතවී මෙම අසත්‍ය පැමිණිල්ල පොලිසියට ඉදිරිපත්කර ඇති බවද අධිකරණයට අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා විශේෂයෙන් අදාළ පැමිණිල්ල කර ඇත්තේ සිද්ධිය වූ බව කියන දිනට මාස තුනකට පසුව බව ද වැඩිදුරටත් අධිකරණයට කියා සිටියේය.

පැමිණිල්ල වෙනුනේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රත්නායක මහතාගේ උපදෙස් මත අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශය උප පොලිස් පරික්ෂක ලලිත් නන්ද මහතා සහ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්. යසරත්න මහතා පෙනී සිටියේය. සැකකාර පළාත් ඉඩම් කොමසාරිස්වරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිතිඥ රංජිත් රාජකාරුණා සමග නීතිඥ නලින් දිමුතු බණ්ඩාර සහ නීතිඥ ඉඳුල් හෙට්ටිආරච්චි යන මහත්වරු පෙනී පිටියහ.

-උපාලි ආනන්ද-