රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට එරෙහිව හා එම රිය
අනතුර පිළිබඳ තොරතුරු වසන් කොට රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට ඔහුට පලායෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා වවුනියාව මහාධිකරණය හමුවේ ඊයේ (07) වෙන වෙනම නඩු පැවරීය.

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙන්ම එම රිය අනතුර පිළිබඳ තොරතුරු වසන් කොට එය අනතුර සිදුකළ සැකකරුට නීතිය ක්‍රියාත්මක නොකොට ඔහුට පලා යැමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින්
අනතුරුව නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් අනුව විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පැවරූ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න හිමියිනවිය පැවසුවාය.

2011 මාර්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක සෙට්ටිකුලම් ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ වාහනයක් අපරික්ෂාකාරීව, අධික වේගයන්, නොසැලකිලිමත් අන්දමින් මාර්ග සලකුණු නොසලකමින්, මාර්ගයේ විරුද්ධ දිශාවෙන් ධාවනය කොට උදය ජයමිණි පුෂ්පකුමාර නමැත්තාගේ මරණය සිදුකළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇත.

වාහනයක් ලියාපදිංචි නොකොට සන්තකය දැරීමේ චෝදනාව යටතේද විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

2011 මාර්තු මස 30 වැනිදාත් 2011 නොවැම්බර් මස 08 වැනිදාත් අතර කාලයේ සෙට්ටිකුලම් හා වවුනියාව යන ප්‍රදේශවලදී. ජේ. ශ්‍රී රංගා නමැත්තා වරදක් කොට ඇති බව දැන දැනම ඔහු නීතනුකුලු දඩුවමින් ආරක්‍ෂා කිරීමේ අදහසින් අසත්‍ය තොරතුරක් සැපයීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අදාළ රිය අනතුර සිදුවන අවස්ථාවේදී එම වාහනය පදවා ඇත්තේ පොලිස් සැරයන් උදය ජයමිණ පුෂ්පකුමාර නමැත්තා බවට කරුණු ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා,පොලිස් අධිකාරීවරයා, සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින්ට එරහිව වෙනම නඩුවක් පැවරා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට අමතරව එලෙස නඩු පවරා ඇත්තේ  අමරසිරි සේනාරත්න, සුගත් ශිරාන් සංජීව, හරිස්චන්ද්‍ර බණ්ඩාර, ප්‍රියදර්ශන හේරත් සහ ඩබිලිවි.පී. පද්මපාල නමැත්තන්ට එරෙහිවය.

මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකදී අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇත්තේ මියගිය පොලිස් සැරයන්වරයා  නොව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ශ්‍රී රංගා මහතා බව දැන දැනම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට ඔහුව පළා යෑමට වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පොලිස් අධිකාරිවරයා, සෙට්ටිකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් ආධාර අනුබල දී ඇති බව හෙළි වී තිබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට ලැබුණු බලපත්‍රයක් මත ඔහු විසින් ලබාගත් ලියාපදිංචි නොකළ මෝටර් රථයෙන් ඔහු සිය ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියා සමග 2011 මාර්තු  මස 30 වැනිදා ගමන් කරමින් සිට ඇති
අතර, එසේ ගමන් කරමින් සිටියදී වවුනියාව සෙට්ටිකුලම් රෝහල අසලදී ගසක හැපී " අනතුරක් සිදු වී ඇත. එම අනතුරෙන් හිටපු  ශ්‍රී රංග මහතාගේ මෝටර් රථයේ ගමන් කළ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා මියගොස් ඇති  අතර, එම අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර්  රථය පැදවූයේ මියගිය පොලිස් සැරයන්වරයා බවට ශ්‍රී රංගා මහතා පොලිසියට දැනුම් දී ඇති නමුත්, ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී  මෝටර් රථය පදවා ඇත්තේ මියගිය පොලිස් සැරයන්වරයා නොව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ. ශ්‍රී රංගා මහතා බවට පොලිස් නිලධාරින් දැනගෙන සිට ඇතැයිද විමර්ශනවලදී හෙළි වි ඇත.