ජනාධිපති මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට අවසන්වූ බවත් මෙම නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතුවල නිරත වන පිරිස් වීඩියෝගත කර ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම කියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (13) පැවසීය.

මේ සඳහා ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ඇති බවත් එවැනි ක්‍රියා විඩියෝගත කිරීම සඳහා පොලිස් නිලධාරින්ට අවශ්‍ය ප්‍රතිපාදන ද ලබා දී ඇති බව ද ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම නිහඩ කාලය තුළ ප්‍රචාරණ කටයුතුවල නිරත
පුද්ගලයන් එම වීඩියෝ දර්ශන මගින් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේ පොලිස් මූලස්ථානයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ කොමිසමේ  උපමාන අනුව ඔක්තෝබර් මස 7 වැනි දින සිට ස්ථාපිත කර තිබූ පක්ෂ කාර්යාල වර්ග හතර අතරින් කාර්යාල තුනක් පමණක් මෙම මස 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පවත්වාගෙන යාමට අවසර ඇති බව ද  හෙතෙම කීය.

ඒ ඒ පක්ෂ මගින් ඡන්ද කොට්ඨාසයකට එක බැගින් පිහිටුවා ඇති සියලුම නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල (අංක 1) අද (14) මධ්‍යම රාත්‍රී 12.00 පසු වසා දැමිය යුතු බව ද ගුණසේකර මහතා පැවසීය.

මැතිවරණ කොට්ඨාසයකට එක බැගින් ස්ථාපිත කර ඇති  සියලුම නිර්වේදිත මධ්‍ය ඡන්ද කාර්යාල, ඡන්ද ප්‍රදේශයකට එක  බැගින් ස්ථාපිත කිරීමට අවසර ඇති නිවේදිත ශාඛා ඡන්ද කාර්යාලය (2) හා අපේක්ෂකයා හෝ බලයලත් නියෝජිතයාගේ නිවසේ පවත්වාගෙන යාමට අවසරය දී ඇති කාර්යාලය මෙම 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පවත්වාගෙන යාමට අවසර ඇති බව ද රුවන් ගුණස්කාර මහතා කීය.

මෙසේ අවසර දී ඇති මෙම කාර්යාල වර්ග තුන ඡන්ද පොළට මීටර් 500 දුරින් තිබිය යුතු බවත් එහි ප්‍රචාරක රැස්වීම් ඇතුළු කටයුතු තහනම් බවත් ගුණස්කාර මහතා පැවසීය.

ඉහත කාර්යාල තුනේ සවිකර ඇති කටවුට් ගලවා ඉවත් කළ යුතු බවත් නැතහොත් පිටතට පෙනීම වළක්වමින් ආවරණය කළ යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දිකා රාමනායක