ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් චතුරිකා සිරිසේන මහත්මියගේ ආසන ව්‍යාජ ලෙස යොදා කූට ලේඛනයක් සකස් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක සහ ඇයගේ පුත්‍රයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ වරද පිළිගන්හ.

මෙලෙස වරද පිළිගත්තේ කළුගොඩ පාර, පන්නිපිටිය පදිංචි කමණි රේණුකා රාවණාඇල සහ කෝෂික විමුක්ති කාරියවසම් යන දෙදෙනාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශය 01 හි ස්ථානාධිපතිවරිය වෙත පැමිණිලි කර ඇත්තේ
ජනාධිපති සම්බන්ධීකරණය ලේකම් දර්ශනී චතුරිකා සිරිසේන මහත්මිය විසිනි.

වර්ෂ 2017 ඔක්තෝබර්  මස 16 වන දින හෝ ඊට ආසන්න දිනයක දී කූට ලේඛන බව දනිමින්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක ජනාධිපති සම්බන්ධීකරණය ලේකම් චතුරිකා සිරිසේන යන අයගේ අත්සන ව්‍යාජ ලෙස යොදා අතිරේක සාමාන්‍යාධිකාරි (ණය අයකර ගැනීම්) සෛලාන් බැංකුව මනා යොමු කර ඇති 067030415448101 හා ඔප්පු අංකයට අදාළ ණය මුදලක් සම්බන්ධයෙන් සැබෑ ලේඛනයක් ලෙස වංක චේතනාවෙන් ලේඛනයක් සකස් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 454 වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබුණේ ඉකුත් 2018 වර්ෂයේ මැයි මෂ 30 වැනිදාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් දර්ශනී චතුරිකා සිරිසේන, සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ණය අයකර ගැනීම්) එරංග වජිර ප්‍රිය ලංකාතිලක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී
හෙටිටිකංකානම්ලාගේ සර්වරන්ජන් ධර්මවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු 11 දෙනකු සාක්ෂිකරුවන් වශයෙන් නම් කර නඩු භාණ්ඩ 06ක් අධිකරණය වෙත නම් කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව සාක්ෂිකරුවන් අධිකරණයේ සාක්ෂි දුන් අතර සැකකරු දෙදෙනා මෙම චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත්හ.

ඒ අනුව දඩුවම් නියම කිරීම ලබන දෙසැම්බර් මස 04 වැනිදා සිදු කිරිමට අධිකරණය නියෝහ කළේය.

නිමන්ති රණසිංහ