දෙසැම්බර් මස මැද නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ අලුත් තනතුරු කිහිපයක් වත්මන් රජයේ මන්ත්‍රීවරුන් විසින් ලබාගැනීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සඳහා මහජන එක්සත් පෙරමුණ නායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් පත්කිරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි
මාර්ග සඳහන් කරයි.කෙසේ වෙතත් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා තම පක්ෂයේ මන්ත්‍රීවරයකු පත්කළ යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාට යෝජනා කිරිමට සුදානම් වන බව වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ හා අග මැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සතියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද එහි ප්‍රකාශකයෙක් පැවැසීය.  පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටුවනු ලැබූ තාවකාලික රජයේ ද සභානායකවරයා සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ද දිනේෂ් ගුණවර්ධන හා මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ය.