මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එම කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජිවන් හූල් යන
මහත්වරුන් අතර මත ගැටුමක් ඇතිවිය. මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ශ්‍රී ලංකාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය යල්පැනගිය එකකැයි ප්‍රකාශ කළ අවස්ථාවේ ඔහුත් සමග එකම මේසයේ සිටි සභාපති මහින්ද දේශප්‍රිය එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.

මහාචාර්යවරයාට ඡන්ද හා මැතිවරණ ගැන අත්දැකීම් නැති බවද, ඔහුගේ පෞද්ගලික මතය මැතිවරණ කොමිසන් සභාවේ මතය නොවන බවද මහින්ද දේශප්‍රිය මහතා කීවේය. මීට ඉහතදී මහාචාර්ය රත්නජිවන් නූල් මහතා මාධ්‍යයක ලිපියක් පළකරමින් මෙවර ජනාධිපතිරණයේදී කිසිදු අපේක්‍ෂකයකුට සියයට 50ක ඡන්ද
ප්‍රතිශතයක් ලබාගත නොහැකි යැයි ප්‍රකාශ කර ඇති බවද එම ප්‍රකාශයත් මැතිවරණ කොමිසම නොපිළිගන්නා බවද දේශප්‍රිය මහතා පැවසීය. මැතිවරණ කොමිසන් සභා පරිශ්‍රයේ ඊයේ පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න අසමින් සිටි අවස්ථාවේදී  මහාචාර්ය හූල් මහතා මාධ්‍යවේදීයකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.

"අපේ රටේ ඡන්ද ප්‍රකාශ කරනද ක්‍රමය යල්පැන ගිය එකක්. දැන් ලෝකේ දියුණු රටවල ඡන්දය ප්‍රකාශ කරන්නේ අන්තර් ජාලය හරහා. අපේ ක්‍රමය පරණයි". ඒ අවස්ථාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තරමක අවේගශිලිව මෙසේ කීය.

මහාචාර්යතුමාගේ අදහස කොමිසමේ අදහස නොවෙයි. ඒක එතුමාගේ පෞද්ගලික අදහසක් ලෙස ගන්න. කොමිසම හැටියට ඉන්න කොට පොදු මතයක් තමයි කියන්නේ. අපේ ඡන්ද ප්‍රකාශ කරන ක්‍රමය යල්පැන ගිය එකක් යන්න මැතිවරණ කොමිසම් ඇදහස නොවෙයි. මම අවුරුදු 34ක් ඡන්ද කරපු නිලධාරියෙක්. මහාචාර්යතුමාට ඡන්ද ගැන අත්දැකීම් නැහැ. මහාචාර්ය හූල් මහතා එක්තරා ලිපියක් ලියමින් කියා තිබෙනවා මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂිකයකුට සියයට 50ක් ගන්න බැහැ කියලා. ඒක මැතිවරණ කොමිසමේ අදහස නොවේයි.  ඒකත් එතුමාගේ පෞද්ගලික අදහසක්.

මා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස කොමිසමේ සාමාජිකයින් කරන දේවලත් වගකීම බාරගත්තා. කාගෙන් වුණත් යම් වරදක් වුණොත් සභාපති ලෙස මා නිහතමානීව සමාව ගන්න කෙනෙක්.  මහාචාර්ය හූල් මහතා ස්වාධීනව කටයුතු  කරන කෙනෙක්. එතුමා කිසිදු අපේක්ෂකයකුට හෝ පක්ෂයකට හෝ පක්ෂග්‍රාහී නැති බව මම වගකීමෙන් කියනවා යැයි ද මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ අනෙත් සමාජිකයා වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර මහතා ද සහභාගි වන ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියද ඔහු ඊට මැදිහත් වූයේ නැත.

-රංජන් කස්තුරි-