කඩුවෙල කොරතොට ප්‍රදේශයේ කුලී නිවසක තිබී 22 හැවිරිදි තරුණියකගේ සහ 35 හැවිරිදි දෙදරු පියකුගේ සිරුරු ඊයේ (27) දහවල් සොයාගත් බව නවගමුව පොලිසිය පවසයි.

මියගොස් සිටි තරුණිය ඝාතනය කිරීමෙන් පසු රෙදි පටියකින් ගෙළ වැළලා දැමූ බවට සැක කළ හැකි බවත් පිරිමි පුද්ගලයා ලිපියක්ද ලියා තබා ගෙළ වැලලාගෙන ඇති බව ද පොලිසිය පවසයි.

තරුණිය මීට මාස කිහිපයකට ඉහතදී විදේශ ගතව සිට මෙරටට පැමිණිමෙන් පසු අදාළ කුලී නිවෙසෙහි ඇයගේ මව ද සමගින් පදිංචියට පැමිණ ඇති බවත් මිය යන විට ඇය ගැබිනියකව සිටි බවට  කරුණු අනාවරණය වෙමින් පනින බැවින් ඒ සම්බන්ධයෙන්ද පරික්‍ෂණ කටයුතු සිදුවන බව ද පොලිසිය පවසයි.

අනෙක් පුද්ගලයා මෙම තරුණිය සමගින්
ඇසුරක් පවත්වමින් එම කුලී නිවසට නිතර ආගිය අයකු බව ද සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

මිය ගිය දෙදෙනා අතර පෙරේදා (26) රාත්‍රී වළං පොළොවේ ගසමින් ඉතා තදින් බහින් බස් වී ඇති බව අසල්වැසියන්ගෙන් ලද සාක්‍ෂි මත අනාවරණය වී ඇත.

ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවට සැක දෙදරු පියකු වන මොහු ගෙළ වැලලා ගැනීමට පෙර ලියූ බවට සැකයක් කරන ලිපියක්ද හමු වූ බවක් තම දරුවන් දෙදෙනා රැකබලා ගන්නා ලෙස ඔහුගේ නීත්‍යාණුකූල බිරියගෙන් ඉල්ලා ඇති අතර තමන් සිදු කළ වරදට මියගිය තරුණියගෙන් සමාව අයැ ද ඇති බවත් සඳහන්ය.

තරුණිය ඝාතනය කිරිමෙන් පසුව ගෙළ වැළලා ගත් ආකාරයට හැඟෙන ආකාරයෙන් කටයුතු කර ඇති බවට සැක කෙරෙන බැවින් එය ඝාතනයක් සේ සලකා විමර්ශන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසියේ ස්ථානාධිපති දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති
උප පොලිස් පරික්‍ෂක අබේවික්‍රම,පොලිස් සැරයන් 36118 සුමනරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 13574 කුමාර. 93844 සමරනායක යන නිලධාරිහු පරික්ෂණ පැවැත් වූහ.

මොරගහහේන කේ. බුද්ධික කුමාරසිරි