පිරවුම්හලක තෙල් නළ සවිකර ඇති කුඩා කුටියකට බැස කුටිය සුද්ද කරමින් සිටි පුද්ගලයකු ඊයේ (28දා)
සේවා ස්ථානයෙන් තෙල් ගසාගෙන ඉදිරියට ආ වෑන් රථයකට ඉහළ හිස ප්‍රදේශය ගැටීමෙන් බරපතළ
ලෙස බෙල්ලට හානි සිදුවී ලේ වහනය වීමෙන් එම ස්ථානයේදීම මිය යෑමේ අවාසනාවන්ත සිද්ධියක් කන්තලේ පොලිසියෙන් වාර්තා විය.
මියගොස් ඇත්තේ කන්තලේ පරාක්‍රම මාවතේ පදිංචිව සිටි එච්.එම්. ඩිරාන් විමලරත්න (26) නම් තරුණයෙකි.

මියගිය අය සිය සේවා මුරය නිමවී මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය නිසා
අපවිත්‍රවී ඇති පෙට්රල්
 නළ සවි කිරීමට අඩි 4ක් පමණ වූ කුටියට බැස කුටිය සුද්ද කරමින් සිට ඇත. එම අවස්ථාවේ ඊට අඩි
10ක් පමණ අෑතින් වූ වාහනයක් තෙල් ගසාගෙන මරණකරු සිටි කුටිය උඩින් ගමන් කර ඇත. එම අවස්ථාවේ වළෙන් උඩ තිබූ බෙල්ලෙන් ඉහළ කොටස වාහනයේ ගැටීමෙන් මරණය සිදුවී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

අනතුර සිදුකළ පුද්ගලයා තඹලගමුව මීරානගර්හි එස්.එම්. සාෆි නමැත්තෙකි. හෙතෙම සිද්ධිය සිදුවීමෙන් පසු සිය රථයෙන්ම එම ස්ථානයෙන් පිටව ගොස් ඊළඟ පොලිස් ස්ථානය වන අග්බෝපුර පොලිසියට බාරවී  ඇත.

මියගිය අය අසලම ඇති කන්තලේ මූලික රෝහල කරාගෙනයන විටද මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. රථයේ හිමිකරු අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

කන්තලේ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී.බී. විජේසිරි මහතාගේ
උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලකරත්න මහතාගේ අධීක්ෂණයෙන් පොලිස්
සැරයන්වරුන් වන පෙරේරා (26317), සුනිල් (33307), ප්‍රේමරත්න (36761) යන නිලධාරීහු
වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

කන්තලේ - ඩබ්.එම්. වික්‍රමසිංහ