ආණමඩුව නගරයේ ඊයේ  (4) දින සවස පැවති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ රැළියකට ගොස් ආපසු කරුවලගස්වැව බලා එමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට  ලී කදන් දමා හරස් කර එහි සිටි පිරිසට පහර දී ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

මෙම පහර දිම ඊයේ  දින සවස 6.30 ට පමණ  සිදුව ඇති අතර  පහර කෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ආධාරකරුවන් පිරිසක් වන අතර පහර කෑමට ලක්වු පිරිස් සිවු  දෙනෙකු තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

ආණමඩුව රැළියට සහභාගි වි ආපසු නවගත්තේගම කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්‍රදේශයෙදී මෙම පිරිස ගමන් කළ  ලංගම බස් රථය ලි කදන දමා බස් රථය හරස් කර මග රැක සිටි 20 කට ආසන්න කාන්තාවන් හා පිරිමින් කණ්ඩායමක් විසින් ලී මුගුරු වලින් පහර දී ඇති බව පැවසේ.

මෙම පහර දීමෙන් ලංගම බස් රථයටද හානි සිදුව තිබු අතර පහර දීම  සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනිමට ප්‍රමාද විම ගැන 100කට ආසන්න පිරිසක් කරුවලගස්වැව පොලීසිය තුළදී  විරෝධය මතු විමත් සමග නොසන්සුන්තාවයක් දැක ගත හැකි විනි .

පසුව එම ස්ථානයට පැමිණි   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රියංකර ජයරත්න , සනත් නිශාන්ත හා හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආනන්ද සරත් කුමාර ,චින්තක අමල මායාදුන්න යන මහත්වරුන්  ඇතුළු පිරිස් එක්වි ජනතාව පත්ව සිටි නොසන්සුන්තාවය 
සමතයකට පත් කරන්නට දැඩි උත්සායක් ගන්නා ආකාරය දැක ගත විනි.

පසුව පොලිස්ථාන භූමියේ රැදි සිටි පිරිස් පහර දිම ගැන පොලිස්ථානයට පැමිණිලි දමන්නට වු අතර පොලීසිය පවසනුයේ  මෙය සුළු සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවු ප්‍රශ්නයක් බවයි.

කෙසේ නමුත් පහර කෑමට ලක්වු පිරිස් පවසන්නේ තමන්ට කුඩා මැදවච්චිය ප්‍රදේශයේ එජාප ආධාර කරුවන් බස් රථය නවතා අමානුෂීක ආකාරයෙන් පහර දිම සිදු කල බවයි.

මෙහිදි මේ පිළිබඳව අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රියංකර ජයසිංහ මහතා පවසා සිටියේ මෙවැන්නකී.

“ අද එජාපය වියරු වැටිලා අපේ ජයග්‍රහණය මේ අයට දරා ගන්න බැරි වෙලා .අද අඩුම තරමින් රැස්විමකටවත් අපේ ආධාරකරුවන්ට බැරි තත්ත්වයක් උදා කරලා . ඉතාමත් අමානුෂික ආකාරයට මේ මිනිසුන්ට පහර දිලා ඔලු පලලා ඇයි මේ දෙවල් නැති ප්‍රශ්න  ඇති කරලා අපේ ජනතාව කුපිත කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා” .

පුත්තලම - හිරාන් ප්‍රියංකර