https://www.gossiplankanews.com/2019/11/german-tec-lecturer-murder.html
ර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ඝාතනය කර දේහය ඔහුට අයත් පොල් වත්තක වළ දමා පවුම් 15ක් පමණ බර රන් භාණ්ඩ රැගෙන පළා ගිය බව කියන පුද්ගලයෙක් කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩයාමක් විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ ඝාතනය කර තිබුණේ කුලියාපිටිය ගොරකපොළ මඩකුඹුරුමුල්ල ප්‍රදේශයේ
පදිංචිව සිටි අවිවාහකයෙකුවූ බස්නායක මුදියස්ලාගේ නන්දිත මහින්ද බස්නායක (45) මහතාය. බස්නායක මහතාට පහර දී වළ දමන අවස්ථාවේ ඔහු මිය ගොස් සිටි නැති බව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කරන ලද පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමට බස්නායක මහතා ඝාතනය කර ඔහු සතුව තිබූ රන් භාණ්ඩ පැහැර ගත් බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරිම්වලදී පවසා ඇතැයි කියති.

අත්අඩංගුවට ගත් සැකකරු දුම්මලසුරිය පොලිස් වසමට අයත් වැළිපැනගහමුල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි

සුජිත් නමැති සිවු දරු පියෙකි. මොහු කාලයක් පොල් කඩා ජීවිකාව ගෙන ගිය අයකු
බවත් එම කාලයේ බස්නායක මහතාට අයත් අක්කර 25ක ඉඩමේ පොල් කැඩීම ද සිදු කර තිබෙන බවත් පොලිසිය කියයි.
 පසු කාලයක පොල් කැඩීම නතර කර බුලත් වගා කර ඒවා විකුණා ජීවිකාව ගෙන ගොස් ඇතැයි ද කියති. මීට වසර කිහිපයකට පෙර අපවත් වූ විහාරාධිපති හිමිනමකගේ ආත්මය කාලයක සිට තමාගේ සිරුරට වරින් වර ආරුඩ වන බව සැකකාර සුජිත් නමැත්තා බස්නායක මහතා සමග පවසා තිබෙන බව පොලිසිය කියයි. එවැනි අවස්ථාවලදී තමාට ලෙඩ රෝග සුව කිරීමට සහ ග්‍රහ අපල දුරු කිරීමට බලයක් ලැබෙන බවත් සැකකරු අවස්ථා කිහිපයකදීම බස්නායක මහතා සමග පවසා තිබේ. බස්නායක මහතාගේ විවාහය ප්‍රමාද වීමට බලපා ඇත්තේ ද ඔහුට තිබෙන ග්‍රහ අපල නිසා බවත් තමාට ඇති බලයෙන් ශාන්ති කර්මයක් කර ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කර විවාහය ඉක්මන් කරදීමට හැකියාව තිබෙන බවත් සැකකාර සුජිත් බස්නායකට පවසා ඇත.

සැකකරුගේ කීම විශ්වාස කළ බස්නායක සැකකරුගේ මාර්ගයෙන් ශාන්තිකර්ම කිහිපයක්ම
පවත්වා ඇති අතර ඒ වෙනුවෙන් ඔහුට රුපියල් 50,000 සහ 75,000 අතර මුදලක් ගෙවා ඇත.

විවාහය ඉක්මන් කිරීමට කළ යුතු අවසාන ශාන්තිකර්මය කිරීමට නම් බස්නායක මහතාගේ නිවෙසේ තිබෙන සියලුම රන් භාණ්ඩ රැගෙන ආ යුතු බවට ඔහු උපදෙසක් දී  ඇත. එයට එකගවූ බස්නායක ඒවා රැගෙනවිත් සැකකරු අතට පත්කර ඇත. බස්නායක මහතාගේ නිවෙස පිහිටි අක්කර 25කින් යුතු ඉඩමේ කෙරවලක වළක් හාරා ඒ තුළ පහන් පත්තු කර සුවඳ දුම් අල්ලා තිබේ.

බස්නායක මහතා කපන ලද වළ ඇතුළේ නිදි කරවා රන් භාණ්ඩ සියල්ල බෝනික්කකු තුළට ඇතුළු කර එම
බෝනික්කා ඔහුගේ ඇග මත තබා ශාන්තිකරමය කිරීමට සැකකරු සූදානම් කර ඇති බව පැවැසේ.

එසේ කිරීමට මත්තෙන් වළ තුළ තබා තිබූ පොල්
තෙල් පහන් දල්වන ලෙස සැකකරු බස්නායක මහතාට උපදෙස් ලබා දී ඇත. බස්නායක මහතා ඒ අනුව වළ තුළට නැමී පහන් පත්තු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ (බස්නායකගේ) හිසට උදැල්ලකින් පහර දී පසුව වළට දමා වසා දමා බෝනික්කාගේ ඇතුළට බහා තිබූ රන් භාණ්ඩ ද පැහැරගෙන පළා ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙත් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු සියල්ල පොලිසියට පවසා ඇත.
 ඝාතනය සිදු කර පැහැරගත් රන් භාණ්ඩ මිතුරකුට ලබා දී ඔහුගේ මාර්ගයෙන් නාත්තන්ඩියේ රාජ්‍ය බැංකුවකට උකස් කර රුපියල් 460,000ක මුදලක් ලබාගත් බවද සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇති අතර මිතුරාගෙන් මුදල් ඉල්ලාගෙන ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා තෙක් එම මුදල තමාගේ මල්ලිට පරිස්සම් කර තබාගන්නා ලෙස බාර දුන් බව ද සැකකරු පොලිසියට පැවැසීම නිසා එම දෙදෙනා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

බස්නායක මහතාට අයත් පොල් වත්තේ සේවය කරමින් සිටි කාන්තාවක් ලබා දුන් තොරතුරක් මත පොලිසිය කැණීම් සිදු කර සිරුර ගොඩ ගනු ලැබුවේ ඉකුත් 6 වැනිදාය. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ
වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් ජයසිංහ මහතා හමුවේ ගොඩගත් මෙම සිරුර සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබ ඇත්තේ කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය විසිනි. පසුගිය 5 වැනිදා රාත්‍රියේ නිවෙසින් පිටත්ව ගිය පුතා අතුරුදන්ව සිටින බවට බස්නායක මහතාගේ මව කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි.
වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )