ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් ඊයේ (18දා) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම කැපී පෙනෙයි.

එහිදී, කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු දිනය අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 106.54කින් ඉහළ ගිය අතර, එය සටහන් වූයේ ඒකක 6, 129.56ක් ලෙසිනි.

එමෙන්ම, බ්ලූචිප් සමාගමිවලින් සුසැදි S&P ශ්‍රී ලංකා 20 දශකයේ අගයද ඒකක 59.52කින්
ඉහළ ගිය අතර, දිනයේ ගනුදෙනු අවසානයේදී එය ඒකක 3,046.04ක් ලෙස සනිටුහන් විය.

මේ අතර, ඊයේ දිනය තුළ කොළඹ කොටස් වෙළදපොළ දැවැන්ත දෛනික පිරිවැටුමක් දක්නට ලැබුණු  අතර, එය රු.බිලියන 2.41ක් ලෙස වාර්තා විය.

මෙහිදී දක්නට ලැබුණු තවත් සුවිශේෂී කරුණක් වූයේ 2019 වර්ෂය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා කළ ඉහළම අගය වු ඒකක 6,067.66ක (ජනවාරි 04දා) අගය ඊයේ දිනයියේදී ඉක්මවා යමින්, ඒකක 6,129.56ක් වාර්තා කිරීමය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, කලම්බු කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ට්ලස් ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය කැපී පෙනෙන දායකත්වයක් ලබාදී තිබුණි.

එමෙන්ම, දිනය තුළ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වු සමාගම බවට පවෙමින් ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී හි කොටස් මිලියන 15.4ක ප්‍රමාණයක් ගනුදෙනු වී තිබුණි. මීට අමතරව, සියෙරා කේබල්ස් සමාගමේ කොටස් මිලියන 10.1ක්ද දිනය තුළ ගනුදෙනු වී තිබුණි.

ෂමිල පෙරේරා