අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන හත්සිය දහදෙනාටම අනවසරයෙන් විදෙස් ගමන් යාමට තහනමක් පනවමින් එහි නව අධ්‍යක්ෂවරයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව වෙත ඊයේ (25 වැනිදා) නියෝගයක් ලබාදී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ සිට පහළම නිලධාරියා දක්වා මෙම නියෝගය පනවමින් අවසරයකින් තොරව විදෙස්ගත වීමට පැමිණෙන අය කටුනායක රහස් පොලිස් ඒකකය භාරයට ගන්නැයි මෙම නියෝගය ඊයේ (25 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයටද යොමුකර තිබේ. එමගින් කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන අංශයට නම් ලැයිස්තු භාරදී ඇත.

බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ෆැක්ස් මගින් එවූ මෙම නිලධාරීන්ගේ නාමලේඛනය අපැහැදිලි බව ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව ඊයේ (25 වැනිදා) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යළි දන්වා යැවූ බව ආගමන විගමන මාධ්‍ය ප්‍රකාශක මිලින්ද ගයාන් පැවසීය.

කටුනායක ගුවන් තොටුපළට ලද නම් ලැයිස්තුව පරිගණක ගත කිරීමට ඊයේ (25 වැනිදා) පටන් ගෙන ඇත.

අවසර නොමැතිව විදෙස්ගතවීමට පැමිණෙන මෙම ලැයිස්තුවේ සිටින නිලධාරීන් කටුනායක රහස් පොලිස් ඒකකය වෙත යොමු කරන බව කටුනායක ගුවන් තොටුපළේ සහකාර පාලක සුජීව රත්නායක  කළ විමසුමකදී පැවසීය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා