විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් මේ වනවිට සිටින්නේ බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරයකය. අසාන්ජ් සම්බන්ධයෙන් පසුගිය දා පළ වූ පුවතකින් පැවසුණේ ඔහු බන්ධනාගාරයේ දී මිය යා හැකි බවට වෛද්‍යවරුන් පිරිසක් අනතුරු අඟවා ඇති බවයි. මේ වනවිට ඔහු මානසික ගැටලුවලින් මෙන්ම ශාරීරික ගැටලු රැසකින් ද
පීඩා විඳිමින් සිටින බැව් මෙම වෛද්‍යවරුන් පවසා තිබේ. මේ සම්බන්ධයෙන් අනතුරු අඟවමින් වෛද්‍යවරුන් 60 ක පමණ පිරිසක් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරයා වෙත ලිපියක් ලියා ඇති බව වාර්තා වෙයි. ඔවුන් නිර්දේශ කර ඇත්තේ අසාන්ජ් ඉක්මනින් රෝහලක් වෙත මාරු කිරීමට පියවර ගන්නා ලෙසට ය.

48 වැනි වියෙහි පසුවන විකිලීක්ස් නිර්මාතෘවරයා සිරගත කිරීමට පෙර වසර 7කට ආසන්න කාලයක් සිටියේ ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලය තුළ ය. දේශපාලන රැකවරණ මත සිටි ඔහුට එයින් පිටතට බැසීමට පවා නොහැකි වූයේ එසේ කළ සැනින් ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවැති බැවිනි. නමුත් තානාපති කාර්යාලයක් තුළ සිටින කෙනෙකු ඒ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම අපහසු නිසා ඔහුට ඒ තුළ රැඳී සිටීමට හැකියාව ලැබිණි. අසාන්ජ් තමුන්ට භාර දෙන ලෙසට මේ වනවිටත් ඇමරිකාව ඉල්ලීමක් කර තිබේ. ඒ ඇමරිකානු රජයේ පරිගණක පද්ධති තුළට ඇතුල් වීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 18 කට අදාළ නඩු විභාගයකට මුහුණ දීම සඳහාය.

සහන් වික්‍රමගේ