ගෝඨාභය රාජපක්‍ෂ මහතා නඩුවලින් බේරාගත් බවට හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.



මෙම ප්‍රකාශය මගින් හිටපු අධිකරණ
ඇමතිවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත්, ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. යහපාලන ආණ්ඩුව විසින් කොමිෂන් සභා ඇති කර අධිකරණ පද්ධතිය ස්වාධීන කළ බවත්, ඒ අනුව වසර 03කදී තීන්දුවක් ලබාදිය හැකි පරිදි අධිකරණ පද්ධතියේ කටයුතු දියුණු කර ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මීට පෙර නඩුවක් අසා අවසන් කිරීමට වසර 12යි මාස 07ක කාලයක් ගත වූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. යහපාලන රජය විසින් ආරම්භ කළ නඩු කටයුතු  ඉදිරියට ගෙන ගොස් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් පවතින බවද ඒ මහතා පැවසීය.  සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, යහපාලනය ආණ්ඩුව පරාජය කොට ජනතාව ගෝඨාභය  රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්  කළේ ජනතා අභිලාෂයන් ඉටුකිරීමට බවත්, එම අභිලාෂයන් ඉටුකරන ආකාරය දෙස ජනතාව බලා සිටින බවත්ය.