බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ ඊයේ (02) දින පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම අවසර නොගෙන පැවැත්වූ නිසා බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය.

ඊයේ (02) උදෑසන 10ට පමණ ආරම්භ වූ
බලමණ්ඩල රැස්වීම අමතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සභාව අමතමින් සිටියදී පොලීසියේ දැනුම්දීම මත මෙම රැස්වීම අතරමග නවතාලීය.

පොලිසියේ දැනුම් දීම මහින්ද අමරවීර මහතා දැනගත් වහාම පොලිසිය රැස්වීම නවත්වන ලෙසට දැනුම් දී ඇති නිසා තමන්ගේ කථාව අවසන් කරන බව පවසා වේදිකාවෙන් බැස ගියේය.

මෙම අවස්ථාව වනවිට හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද රැස්වීමට සහභාගි වීමට පැමිණි අතර රැස්වීම අතරමග නවතා දැමූ නිසා චමල් රාජපක්ෂ මහතා රැස්වීමට පැමිණි පිරිස සමග සුහද කථාබහක යෙදී රැස්වීම් භූමියෙන් පිටව ගියේය.

පොලිසිය පැවසුවේ අදාල රැස්වීම සඳහා පොලිසියෙන් නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග මත රැස්වීම නැවැත්වීමට සංවිධායකයින්ට දැනුම් දුන් බවයි.