හංසයාට ඡන්දය දුන් ඔබටත්, එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු ජනතාවට ප්‍රචණ්ඩ ක්‍රියාවකට මුහුණදීමට සිදුවුවොත් සිරිකොත පක්ෂ මූලස්ථානයට වහාම දැනුම් දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලා සිටී.



එවැනි අමිහිරි අත්දැකීමකට මුහුණදීමට වුවහොත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නා බව පවසන අකිල විරාජ් කාරියවසම් මහතා ඒ වෙනුවෙන් සිරිකොත පක්‍ෂ මුලස්ථානයේ 0112 889 378 සහ
0779 215 299 යන දුරකතන අංක ස්ථාපිත කර තිබෙතැයි ද කියයි.

මේ සම්බන්ධයෙන් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මාතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි. "හත්වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති ජනාධිපතිවරණය මේ වනවිට අවසන්ව ඇති අතර ඒ අනුව නව ජනාධිපතිවරයකු පත්ව සිටී.

මැතිවරණ කටයුතු නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ සිදුකිරීම වෙනුවෙන් අප රජය විසින් ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභාවල ද සහයෝගය ඇතිව ගෙනගිය වැඩපිළිවෙළ සාර්ථක වූ බව රටේ සමස්ත ජනතාවට පසුගිය වකවානුව තුළ අත්විඳින්නට හැකි විය.

එහෙත් නව ජනාධිපතිවරයා පත්වී දිනක් ගතවන්නටත් පෙර  දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙමින් පවතින අමිහිරී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබදව බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. අප විසින් 2015 වසරේ මැතිවරණ වලින් පසු ජනතාවට අත්පත් කර දුන් සාමකාමී සාධාරණ හා නිදහස් වාතාවරණය මෙම පශ්චාත් මැතිවරණ සමය තුළ දී අදාළ වගකිව යුත්තන් පවත්වා නොගැනීම ඛේදජනකය.

ගතවූ වසර 5කට ආසන්න කාලය තුළ පළාත් සභා බලතල පවා නොමැතිව බාධක රැසක්  මධ්‍යයෙහි රටේ සංවර්ධනය
වෙනුවෙන් අප ගෙන ගිය වැඩපිළිඹෙළ අගය කරමින් අප සමග රැඳුණු ඔබ සියලු දෙනා ආරක්ෂා කර ගැනීමේ වගකීම් අප සතුවන බැවින් ඒ වෙනුවෙන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා වශයෙන් සිහිපත් කරමි."

අංජුල මහිත වීරරත්න