වායු දූෂණය හේතුවෙන් දූවිලි අංශු  ප්‍රමාණය අද (13දා) සහ හෙට (14දා) දිනවලදී ඉහළ යා හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විදහාද සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

කාලගුණ තත්වය වෙනස් වීමෙන් නැවතත් වායු දූෂණ තත්ත්වයක් ඇති විය හැකි බවත්, අදින් පසු මෝසං සුළං තත්ත්වයේ යම් වෙනසක් සිදුවන බැවින්, එහිදී මෙය සිදු විය හැකි බවත් හෙතෙම සදහන් කළේය.

මෙම වායු දූෂණ තත්ත්වය වැඩි වශයෙන් බලපානු ලබන්නේ කොළඹ, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රදේශවලට යැයිද ඒ මහතා
පවසා සිටියේය.

එසේම දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යා හැකි බවට වාර්තා වන බැවින් එළිමහනේ සිදුකරන කටයුතු අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරිසක හා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ ප්‍රජා වෛද්‍ය
විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මිය ප්‍රකාශ කළාය.

එළිමහනේ ක්‍රීඩා කිරීම, දූවිල්ලට නිරාවරණය වෙමින් එළිමහනේ ඇවිදීම, කය වෙහෙසා එළිමහනේ ව්‍යායාම කිරීම ආදී ක්‍රියාකාරකම්වල නිරත වීම අවම කරන ලෙසත්, ගමන් බිමන් යැමේදී උසස් ප්‍රමිතියකින් යුතු මුඛ ආවරණයක් පලඳින ලෙසත් ඒ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වායු දූෂණය හේතුවෙන් කොළඹ නගරයේ දූවිලි අංශු සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක් ගත හැකි බවත්, එම නිසා කෙටි කාලීන සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.

පපුවේ මහන්සිය, හුස්ම ගැනීමේ අපහසුතා, ඇස් කැසීම, කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි කෙටිකාලීන රෝග ඇති විය හැකි බවත්, අංශභාග රෝග, හෘදයාබාධො හා විවිධ හද රෝග, පෙණහලු ආබාධ හා ඇඳුම වැනි දිගුකාලීන රෝගී තත්වයන් ඇති වීමට මෙම තත්වය බලපෑ හැකි බවත් සුරවීර මහත්මිය පවසා සිටියාය.

කුඩා දරුවන්ට, ගර්භණී මවුවරුන්ට, වයස්ගත පුද්ගලයන්ට, පෙණහලූ ආබාධ හා හෘදායාබාධ ඇති පුද්ගලයන්ට, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නිරත පුද්ගලයන්ට හා එළිමහනේ රැකියාවල නිරත වන පිරිස හට මෙහි වැඩි බලපෑම ඇති බවද වෛද්‍යවරිය පෙන්වා දෙයි.

එමෙන්ම මෙම තත්ත්වය දිගුකාලයක් පැවතීමෙන් දරුවන්ට විවිධ දිගුකාලීන රෝගවලට ඉතා අඩු වයසින් ගොදුරු වීමි අවදානමද, ඔටිසම් වැනි තත්වයන් ඇති වීම ද නියමිත කාලයට පෙර දරු උපත් සිදුවීම ආදි අහිතකර තත්ත්වයන් ඇති විය හැකි බවද සුරවීර මහත්මිය සඳහන් කළාය.

දර භාවිත කරන නිවෙස් තුළ නිවෙස අභ්‍යන්තරයේද යම් වායු දූෂණයක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ඒ මහ ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

නවෝද්‍යා පවනි / කැළුම් දේවින්ද්‍ර