මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා
බුද්ධි නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ අද (07දා) නඩු පැවරීය.

වසර නවයක කාලයකට පෙර සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා එලෙස නඩු පැවරූ බව නීතිපති,
ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

නීතිපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, විනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, එස්.කේ. උළුගෙදර සහ හේමචන්ද්‍ර පෙරේරා නමැති යුද හමුදා නිලධාරීන්ට එරෙහිවය.

2009 අගෝස්තු මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගිරිතලේ, හබරණ හා කොට්ටාව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමග එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළැයි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.