ජනාධිපතිවරණ අපේක්ෂකයන් සති දෙකක කාලයක් තුළ සිය මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා කෝටි 100කට ආසන්න මුදලක් වියදම් කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය සඳහන් කළේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ වියදම් නිරීක්ෂණ අංශය මගින් ජනාධිපතිවරණ ප්‍රවර්ධන පිරිවැය සම්බන්ධයෙන් මේ මස 14 සිට 31 දක්වා කළ ඇස්තමේන්තුවට මෙලෙස මුදල් වියදම් කර ඇතැයි අනාවරණය වූ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පැවසීය.


එම නිරීක්ෂණවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රුපියල් කෝටි 57ක්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ රුපියල් කෝටි 37ක්ද ජාතික ජනබලවේගය රුපියල් කෝටි 1.6ක්ද වශයෙන් මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා  වියදම් දරා ඇතැයි ගජනායක මහතා සඳහන් කළේය.

ඊයේ (05දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

නිල වශයෙන් සපයාගත හැති තොරතුරුවලට අනුව මෙම ගණන ප්‍රකාශ කළද, මෙම ඇස්තමේන්තුගත මුදල්වලට වඩා ජනාධිපතිවරණ ප්‍රචාරණයෙහි සැබෑ වියදම්වල අගය විශාල අගයක් ගත හැකි බවද ගජනායක මහතා කීවේය. 

ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් ගණනය කිරීමට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය සූදානම් වූ අවස්ථාවේ මේ සඳහා සහාය දක්වන්නැයි තම සංවිධානය කළ ලිඛිත ඉල්ලීමට කිසිදු දේශපාලන පක්ෂයක් මෙතෙක් සහාය දක්වා නැතැයිද ගජනායක මහතා පැවසීය.

මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමු වරට කෙරෙන ප්‍රචාරණ වියදම් ගණනය කිරීමේ වැඩපිළිවෙළ සඳහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ලිඛිතව මෙම ඉල්ලීම කළේ යැයිද, ඉල්ලීම කර මේ වනවිට සති තුනක කාලයක් ගතව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

චාමර සම්පත්