අද (27) දින දිවුරුම් දුන් නව ඇමතිවරුන් 38 දෙනාට අදාළ වන වැටුප් පරිමාණ පිළිබද දත්ත අනුව පසුගිය වසරේ සිට දෙගුණ වූ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති වැටුප ඔවුනට හිමිවීමට නියමිතය.

2006 වසරේදී පාර්ලිමේන්තුවේදී ගත් තීරණයක් වරින්වර කල්දමා අවසානයේ 2018 අගොස්තු මාසයේ සිට මන්ත‍්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබුණි. ඒ අනුව මන්ත‍්‍රීවරයෙකුට එතෙක් හිමිවූ මූලික වැටුප වන රුපියල් 54,285 ක මුදල රුපියල් 125,000 දක්වා වැඩි වීය.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට පෙර හිමි රුපියල් 63,500ක වැටුප මේ වනවිට රුපියල් 135,000 දක්වා වැඩි කර ඇති අතර රාජ්‍ය ඇමතිවරයෙකුට හිමි  65,000 ක වැටුප රුපියල් 140,000 ක් දක්වා ඉහල දමා තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද හිමිවනවා. එක් මන්ත‍්‍රීවරයෙකුට හිමිවන දුරකතන දීමනාව රුපියල් 50,000කි. රුපියල් 10,000ක ප‍්‍රවාහන දීමනාවක් ද ඔවුන්ට හිමිවන අතර අවමය රුපියල් 30,000ක් වන, දුර ප‍්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත‍්‍රීවරයෙකුට හිමි වනවා.

මීට අමතරව නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශයෙන් දුරකතන පහසුකම් සඳහා ද වෙනම ගෙවීම් කරයි. කොළඹ සිටින නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශය මගින් අවමය ඉන්ධන ලීටර් 600ක් ද ලබා දෙන අතර කොළඹින් බැහැරව සිටින අයෙකුට හිමිවන ඉන්ධන ප‍්‍රමාණය ලීටර් 700කි.