ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය සංචාරය නිමකොට ආපසු පැමිණීමෙන් පසු පාර්ලිමේන්තුවේ වත්මන් සැසිවාරය අවසන් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.



සැසිවාරය අවසන් කිරීමෙන් පසු දින දහයකින් නව සැසිවාරය ආරම්භ කෙරෙන බවත් නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු, ජනාධිපතිවරයා
පාර්ලිමේන්තුව ඇමැතීමට නියමිතව ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 3 වැනි දින පස්වරු 1.00ට රැස්වීමට නියමිතව ඇත.

එසේවුවද, පාර්ලිමේන්තුවේ සැසිවාරය දෙසැම්බර් 3දාට පෙර අවසන් කිරීමට ඉඩ තිබෙන බවත් ඒ අනුව
දෙසැම්බර් 12 දා හෝ 13දා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කෙරෙනු ඇති බවත් දැනගන්නට ඇත.

නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම දිනයේ, සභානායක, ආණ්ඩු පක්ෂයේ
ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන ප්‍රධාන තනතුරු සඳහා
පත්කිරීම් සිදුකිරීමට නියමිතය.

කථානායක කරු ජයසූරිය එම තනතුරෙන් ඉවත්වුවහොත්, එම තනතුර සඳහාද ආණ්ඩුපක්ෂයෙන් කෙනකු
තෝරාපත්කර ගැනීමද සිදුකෙරෙන බවද වාර්තාවේ. මේ වන විටත් කථානායක ධුරයට පාර්ලිමේන්තු
මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පත්කිරීමට ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට තිබේ.

ජේ.ටී. ද සිල්වා