විශේෂතා
•    ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්වූ  ජනාධිපතිවරණය
•    බලයේ සිටින ජනාධිපතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු තරඟ නොකළ ජනාධිපතිවරණය
•    දීර්ඝතම ඡන්ද පත්‍රිකාවක් සහිත ජනාධිපතිවරණය
•    ඡන්ද විමසීම පැයකින් දීර්ඝ කරන ලද ඉතිහාසයේ එකම මැතිවරණය

1.පූර්ව මැතිවරණ සමය

2019 සැප්තැම්බර් 18   දින ශ්‍රී ලංකාවේ 7 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අතර එදින සිට 2019 නොවැම්බර් 13 මධ්‍යම රාත්‍රි 12 වන තුරු කාලය පූර්ව මැතිවරණ සමය වේ.

එම කාලය තුළ කැෆේ සංවිධානය වෙත වාර්තා වූ සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 735 ක් වූ අතර ඒවා අතර  නීති විරෝධී ප්‍රචාරණ සිදුවීම්, රාජ්‍ය දේපළ අයථා පරිහරණයන් ආදී මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් බහුල වශයෙන් වාර්තා වූ අතර ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වී ඇත්තේ අවම වශයෙනි.

සමස්ථයක් ලෙස සලකා බැලූ කළ පූර්ව මැතිවරණ
සමය මෙරට මීට පෙර පැවති ආසන්නතම ජනාධිපතිවරණ තුනට (2005, 2010, 2015) සාපේක්ෂව වඩාත් නීති ගරුක මැතිවරණය ලෙස හැඳින්විය හැකිය. මෙවර මැතිවරණයට තරඟ කළ සියලු පක්ෂ හා පුද්ගලයින් මැතිවරණ නීති රීති ප්‍රමුඛ කොට ගෙන කටයුතු කරන තත්වයක් දක්නට ලැබිණ. මේ නිසා වෙනදා දක්නට ලැබෙන නීති විරෝධී පෝස්ටර් , කටවුට්, කාර්යාල, අල්ලස් දීම්, රාජ්‍ය දේපළ අයථා පරිහරණයන් අවම වූ මැතිවරණයක් ලෙස මෙම මැතිවරණය හැඳින්විය හැකිය.

අපේක්ෂකයින් 35 දෙනෙකුගේ නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් වූව ද ඉන් ක්‍රියාකාරී ලෙස මැතිවරණ ව්‍යාපාරයේ නිරතවූ අපේක්ෂකයින් ප්‍රමාණය 12 දෙනෙකු බව අපගේ නිරීක්ෂණයයි.

1.1 නීති ක්‍රියාත්මක කිරීම

මැතිවරණ නීති රීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බැලීමේදී මැතිවරණ කොමිසම සහ පොලිසිය විසින් සාධනීය මැදිහත්වීමක් සිදුකර ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. එමෙන්ම නිති රීති වලට ගරු කිරීම සම්බන්ධයෙන් සියලුම පක්ෂ හා පාර්ශව දැක්වූ අනුකූලතාව ප්‍රශංසනීය වෙයි. වෙනත් මැතිවරණ වල දක්නට ලැබෙන අති දැවැන්ත ප්‍රචාරක පුවරු, මැතිවරණ කාර්යාල ආශ්‍රිතව පවා දක්නට නොලැබුණු අතර මැතිවරණ කොමිසමේ නිර්දේශ මත සියලු පක්ෂ විසින් කාර්යාල පවත්වාගෙන ගිය බව නිරීක්ෂනය කළ හැකිවිය.

1.3 මාධ්‍ය ක්‍රියාකාරීත්වය

මාධ්‍ය ක්‍රියාකාරීත්වය අතින් වඩා බරපතල ලෙස මැතිවරණ කොමිසමේ උපමාණ සහ ආචාර ධර්ම උල්ලංගණය කළ ජනාධිපතිවරණය ලෙස මෙම ජනාධිපතිවරණය දැක්විය හැකිය. රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය විශාල ප්‍රමාණක් සෘජුව අපේක්ෂකත්ව ප්‍රවර්ධනයේ නිරත වූ ආකාරය දැකිය හැකිවිය. මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද බව කියැවෙන දැන්වීම් වලට අමතරව වැඩසටහන්, ප්‍රවෘත්ති ප්‍රකාශවල අන්තර්ගතයන්, ආදිය තුළ බරපතල අන්තදමින් පක්ෂග්‍රාහීව කටයුතු කරන ආකාරය දක්නට ලැබිණ.

සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාවිතාව අතින්  ශිෂ්ඨත්වය ඉක්මවා ගිය තත්වයක් මෙවර මැතිවරණයේදී දක්නට ලැබිණ. ආගමික අන්තවාදය පතුරුවන තොරතරු, අසත්‍ය තොරතුරු, අපහාසාත්මක තොරතුරු රැසක් ඉතා සංවිධානානාත්මක ලෙස ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම නිසා සැබෑ ජනමතය විකෘති කිරීමට දැරූ උත්සාහයන්
රැසක් පිළිබඳව නිරීක්ෂණය කළ හැකිවිය. නමුත් මැතිවරණ නීති රීති එම සමාජ මාධ්‍ය පාලනය කිරීමට තරම් ශක්තිමත් නොවීම දඩමීමා කරගනිමින් ප්‍රධාන පක්ෂ කිහිපයක් සංවිධානාතමක ලෙස මෙම අශිෂ්ඨ සම්පන්න ක්‍රියාවෙහි නිරත වූ බව අපගේ නිරීක්ෂණයයි.

2.නිහඩ සමය
2019 නොවැම්බර් 13 වන දින මධ්‍යම රාත්‍රියේ සිට 2019 නොවැම්බර් 16 වන දින පෙරවරු 7 දක්වා කාලය තුළ නිහඩ සමය වූ අතර ඒම සමය තුළ කිසිදු ආකාරයේ අපේක්ෂකත්ව ප්‍රවර්ධන ක්‍රියාවලියක් සිදු කිරීම තහනම් විය.

මෙම නිහඩ කාලය තුළ කැෆේ සංවිධානය වෙත වාර්තා වූ සිදුවීම් සංඛ්‍යාව 25ක් වූ අතර නීති විරෝධී ප්‍රචාරණ කටයුතු, ආදිය ඒ යටතේ වාර්තා විය.

මීට අමතරව නිහඩ සමය තුළ අන්තර්ජාල දැන්වීම් සහ සමාජ මාධ්‍ය දැන්වීම් දිගින් දිගටම ප්‍රචාරය වූ අතර අසත්‍ය සහ සත්‍යය කුමක්දැයි ජනතාවට වෙන්කරගත නොහැකි වන ආකාරයට විවිධ වීඩියෝපට, ලියකියවිලි ආදිය හුවමාරු කරමින් ඇතැම් අපේක්ෂකයින් අගතියට පත්වන සහ ඇතැම් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් සිදු විය.


3. මැතිවරණ දිනය
2019 නොවැම්බර් 16 වන දින පෙරවරු 7 සිට මැතිවරණ දිනය ආරම්භ වූ අතර පස්වරු 5 දක්වා කාලය මැතිවරණ දිනය ලෙස සැලකෙයි.

මෙම කාලය තුළ මේ වනවිට කැෆේ සංවිධානයට සිදුවීම් 104ක් වාර්තා වූ අතර ඒම සිදුවීම් අතර ප්‍රචණ්ඩ ක්‍රියා 3ක් වාර්තා විය.

මන්නාරම ප්‍රදේශයේදී  බස්රථ දෙකකට එල්ල වූ ප්‍රහාරය  සහ ගස් කපා දමා මාර්ගය අවහිර කිරීමේ සිදුවීමක් ඒ අතර වේ.

මීට අමතරව අඩ්ඩාලචේන පාලමුනේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ දේශපාලන ගැටුමකදී ඒල්ලවූ ගල් ප්‍රහාරයක් පොලිස් ජීප් රථායකට එල්ල වීමෙන් හානි සිදුවීම සහ දැරණිය ගල නූරිවත්ත ප්‍රදේශයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල සහිත දෙදෙනෙක කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීම ප්‍රධාන වේ.

මීට අමතරව පෝස්ටර් ,අත් පත්‍රිකා සහ කුඩා කාඩ්පත් විසිරුවා හැරීම් ආදී සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර සමස්ථයක් ලෙස මැතිවරණ දිනය සාමකාමී බව සඳහන් කළ හැකිය.

ඡන්ද දායකයින් උදෑසනම ඡන්ද පොලට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් දැක්වූ බව නිරීක්ෂණය කළ හැකිවූ අතර සමස්ථයක් ලෙස ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබේ.

කැෆේ සංවිධානය
2019/ 11/ 16.