ගෘහ සේවය සඳහා සවුදි අරාබියේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැතිව සිටින ඇගේ සැමියා සිය බිරිය සොයා දෙන ලෙස අදාළ බලධාගෙන් ඉල්ලා සිටියි.
ගලිවෙල, නාරංගස් වැව දේවහූව ලිපිනයේ පදිංචිව සිටි ටී.එම්. නීලමනී තෙන්නකෝන් (49) හැවිරිදි තිදරු මව මෙසේ අතුරුදන්ව සිටින්නීය. සිය නිවස සාදා ගැනීමට 2005. 06.14 දින තම බිරිඳ සවුදි අරාබියේ රැකියාවකට ගිය බව නීලමනී මහත්මියගේ සැමියා වන ගලේවල දේවහුව නාරංගස් වැව ගම්මානෙන් ආර්. එම් .සුරවීර
මහතා පවසා සිටියි. තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ සුරවීර මහතා මෙසේ පැවසීය,
" බිරිද විදේශගත වී මාස තුනකට පසු අසල්වැසි නිවසකට දුරකථනය හරහා කතාකොට මාස දෙකක වැටුප් ගෙවන බව ප්‍රකාශ කළ බවත් එහෙත් එදා සිට මේ දක්වාම ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ,

මට දියණියන් දෙදෙනකු සහ පුතෙකු සිටිනවා. මේ වනවිට දියණියන් දෙදෙනා විවාහ වී සිටිනවා.

පුතා කුඩා අවධියේ මව දමා ගිය අතර දැන් මගේ පුතාද 19 හැවිරිදි තරුණයෙකු වුවත් ඔහු මෙතෙක් අම්මා දැක නැහැ, මේ අතර වසර දාසයක පමණ කාලයක සිට රටේ පැවැති සියලුම විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට විදේශ ඇමතිවරුන්ට සේවය කළ ජනාධිපතිවරුන්ට ලිඛිතව සහ වාචිකව මේ පිළිබදව දැනුම් දුන්නත් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. මේ වන විටත් මගේ කුඹුර පවා උගස් කොට රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් වියදම් කරමින් බිරිඳ සෙවීමේ කටයුතුවල නිරතව සිටිනවා." යැයිද පවසා සිටියේය.

 මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියේ මට මෙම කාර්ය සිදු කිරීමට නොහැකි බැවින් ලබන වසරේ ජනවාරී පළමු වන දින තමා විසින් මේ සියල්ලටම වගකිව යුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉදිරිපිටට ගොස් මෙම ලීපි තොගය

පුළුස්සා තමාද සිරුරට ගිනි තබා ගත්නා බවත් එසේ නොමැති නම් කෙසේ හෝ තම සියදිවි හානිකර ගැනීම සිදුකර ගන්නා බවයි.  විදේශගතව අතුරුදන්ව සිටින ටී.එම්. නිලාමිනී තෙන්නකෝන් මහත්මියගේ දියණියක වන දිනුෂා හර්ෂණී (28) මහත්මිය කියා සිටියේ තම මෑණියන් ජීවතුන් අතර සිටින බවට තමන්ට විශ්වාසයක් පවතින බවද

කිසියම් හිරගෙදරක සිටී නම් එසේත් නොමැතිනම් සෞදි අරාබීයේ සිරකරගෙන සිය මවගෙන් වැඩ ගන්නවා ඇතැයි විශ්වාස කරන බව ඇය හැඬු කඳුළින් පැවසුවාය, කෙසේ හෝ තම මෑණියන් ලංකාවට ගෙනැවිත් දෙන හෝ මෑණියන්ට සිදු වූ දෙයක් ඇත්නමි වහාම සොයා දෙන්නැයි ඇය බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළාය.

එස්. කරුණාරත්න