රජයේ ප්‍රධාන පෙළේ සංස්ථා, මණ්ඩල සහ අධිකාරිවල සභාපතිවරුන්, අධ්‍යක්‍ෂවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත්කිරීම් සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විමට ජනාධිපති ගෝඨාභය
රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ. 
ඒ අනුව ජනාධිපති කාර්යාලය මගින් අද හෙටම ඒ සම්බන්ධ නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.  මෙම තනතුරු සඳහා අයදුම් කරන්නන් අතුරින් සුදුසුකම්ලත් අය තෝරා ගැනීම සඳහා සම්මුඛ පරිකෂණ මණ්ඩලයක් ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ.

එහි සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පත්කර ඇති අතර ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක, ඇඟලුම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ හිටපු ප්‍රවීණ විධායකවරයකු වන  ඩයන් ගෝමස් සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය ආදියට මෙලෙස සුදුස්සන් තෝරා ගැනීමේදී මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ඇත.

-රංජිත් අනාන්ද ජයසිංහ-