දහසය හැවිරිදි පාසල් සිසුවකුද යොදාගෙන රුපියල් පන්දාහේ හොර නෝට්ටු දිවයින පුරා බෙදා හැරිය සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග එම පාසල් සිසුවාද බොරලැස්ගමුව අබේරත්න මාවත අසල දෙමහල්
නිවසක් වටලා පෙරේදා (04) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.එම සැකකරුවන් සමග ව්‍යාජ ලෙස සකස් කරන ලද රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දහයක්, ලේසර් වර්ගයේ ප්‍රින්ටරයක්, නෝට්ටුවල වර්ණයන්ට සමාන තින්ත බෝතල් කිහිපයක්, ස්කැන් යන්ත්‍රයක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් මෙන්ම මුද්‍රණ කඩදාසියද පොලිසිය බාරයට ගෙන ඇත.

එම ව්‍යාජ නෝට්ටු වල R-54 304671 යනුවෙන් එකම අංකය සටහන් ඇතැයි පොලිසිය කියයි. බොරලැස්ගමුව නගරයේ පිහිටි මත්පැන් අලෙවි හලකට පෙරේදා දහවල් පැමිණි පුද්ගලයකු බියර් ටින් දෙකයි මත්පැන්
කාලේ බෝතලයක් ලබාගෙන  සේවකයකුට ලබාදී තිබූ රුපියල් පන් දහසේ මුදල් පිළිබඳව සැක සිතූ එම මත්පැන් හලේ සේවකයින් ඔහු රඳවාගෙන ඒ පිළිබඳව බොරලැස්ගමුව පොලිසියේ අපරාධ අංශයේ  ස්ථානාධිපති පොලිස් පරික්ෂක මුදිත දල්පදාදු මහතාට දැනුම් දී ඇත.

වහා ක්‍රියාත්මක වූ දල්පදාදු මහතා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන  ඒමෙන් අනතුරුව සිදුකළ දිර්ඝ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයන් සිව් දෙනකු එක්ව බොරලැස්ගමුව අබේරත්න මාවත අසල දෙමහල් නිවසක සිදුකළ මුදල් නේට්ටු ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි. හෙළි වූ තොරතුරු අනුව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකද සිල්වා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් එම නිවස වටලා සිදුකළ පරිකෂාවේදී නිවස තුළ තිබි මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා උපකරණ සමග එම සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් සිව්දෙනාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියක් පැවසීය.

එම සැකකරුවන් පිරිස අතර සිටින 16 හැවිරිදි පාසල් සිසුන්ගේ ඥාති සොහොයුරකු මෙම ව්‍යාජ  මුදල් ජාවාරමේ මහා මොළකරු බව පොලිසිය කියයි.
සෙසු පිරිස ඔහුගේ මිතුරන් බවද විමර්ශනවලදී හෙළිවී ඇත.වසරකුත් මාස දෙකකට පෙර රුපියල් හතලිස් දහසක මාසික කුලී පදනම මත මෙම දෙමහල් නිවස
ලබාගෙන මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදුකර ව්‍යාජ මුදල් මුද්‍රණය කර බෙදා හැර ඇත්තේ සියයට පහනක මට්ටමකට බව සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරිමැදී හෙළි වූ බව පොලිසිය කියයි.

රුපියල් ලකෂයක ව්‍යාජ පන්දහසේ මුදල් නෝට්ටු විස්සක් සඳහා මෙම ජාවාරම කල්ලියක් ලබාගෙන ඇත්තේ රුපියල් පනස් දහසක මුදලක් බව ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසිය.
ඒ.ෆෝ වර්ගයේ කොළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගෙන ඇතැයිද එලෙස මුද්‍රණය කරන ලද ව්‍යාජ මුදල් නෝට්ටුවක් බොරලැස්ගමුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක යන්ත්‍රය හරහා කිසිදු බාධාවකින් තොරව තැන්පත් කළ බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16, 21, 23, 36 හා 44 වයස්වල පසුවන බොරලැස්ගමුව, බත්තරමුල්ල, වීරකැටිය, පැප්ලම්පල හා දෙහිවල පදිංචිකරුවෝය. සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


-බිමල් ශ්‍යාමන් ජයසිංහ-