ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරදුන් දිනයේ සිට ඊයේ (18දා) දිනය දක්වා කාලය තුළදී පුද්ගලයන් එකසිය හතළිස් එකක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම කාලය තුළදී
පොලිස් ස්ථානවලට පැමිණිලි එකසිය විසි අටක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් එකසිය හැටනවයක් වාර්තා වී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

පැමිණිලිවලට අනුව සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, මෙම පිරිසෙන් කොටසක් පොලිස් ඇප මත මුදාහැර තිබෙන අතර, තවත් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

 මීට අමතරව සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරී ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීති උපදෙස් ලබාගනිමින් තිබෙන බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

2015 වසරේදී පැවැති ජනාධිපතිවරණයේදී පැමිණිලි සහ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පන්සිය හැත්තෑනවයක් වාර්තා වූ බවත්, පුද්ගලයන් තුන්සිය අසූහතරක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාතිමක කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ