ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පසුව වෙනුවෙන් දුර සේවා අතිරේක ලංගම බස් 140ක් පමණ අද (14) සහ හෙට (15) ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා
ගමනාගමන මණ්ඩලයේ
ප්‍රධාන මෙහෙයුම් අධිකාරී නිහාල් හිදැල්ල ආරච්චි මහතා පැවසීය.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට මෙම අතිරේක දුරසේවා බස් රථ ගමන් ආරම්භ කරන බව පැවසු ඔහු, සාමාන්‍යයෙන් දිනකට ධාවනය කරන ලංගම බස් රථ 1350ට අමතරව අද (14) දින අතිරේක බස් රථ 21ක් පමණ ද හෙට (15) බස් රථ 118ක් පමණ ද ධාවනයට යොදවන බව  ද කීය.

මගී අවශ්‍යතාව අනුව අතිරේක දුරසේවා බස් රථ ධාවනයට යොදවන බව කී ප්‍රධාන මෙහෙයුම් අධිකාරි නිහාල් හිරුල ආරච්චි මහතා මෙයට අමතරව ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට සහ මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් රථ 1000ක් පමණ ද පොලිස් නිලධාරි ප්‍රවාහනයට බස් 150ක් පමණ ද මැතිවරණ කොමිෂන් සභාවට හා පොලිස් දෙපාර්තමේන්තුවට  ලබාදෙන බව ද පැවසීය.

මේ අතර ගම් බලා ගිය ජනතාවට ඡන්දය දැමීමෙන් අනතුරුව නැවත කොළඹ බලායාම සඳහා ලබන 18 දා සිට බස් රථ යොදවන ලෙස ලංගම ප්‍රාදේශීය කළමනාකරුවන්ට හා ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් දුන් බව ද හෙතෙම් කීය.

මහින්ද නිශ්ශංක