ගිනිගත්හේන පොලිස් වසමට අයත්  පොල්පිටිය ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ 25 වැනිදා දක්වා රිමාන්ඩ්ගත කර සිටි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී
එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් වෙඩි තැබුවේ යැයි කියන ආරක්ෂක නිලධාරියා දෙසැම්බර් 10 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ. ස්ට්‍රොක්සි මහතා ඊයේ (25) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රක්ෂිත
බන්ධනාගාරගත කෙරුණේ කොස්තාපල් දුමින්ද ලක්මාල් යන අයයි.

අනෙක් සැකකරු වන කොස්තාපල්  ජානක ප්‍රේමසිරි යන අය රු. ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරුණ අතර යළිත් මෙම නඩුව ලබන මස 10 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සිය ආරක්ෂක නිලධාරින් සමග ඉකුත් 7 වැනිදා ලක්ෂපාන ප්‍රදේශයේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැස්වීමක් අවසන් කර ආපසු මහනුවර දක්වා සිය වාහනවලින් ගමන් කරමින් සිටිය දී ලක්ෂිත පොල්පිටිය ප්‍රදේශයේ දී ආරක්ෂක නිලධාරින් සහ පොල්පිටිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් අතර ඇති වූයේ යැයි කියන බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් එක් නිලධාරියෙකු බහින් බස් වීමට සම්බන්ධ වූ තරුණයන් දෙදෙනෙකුට වෙඩි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරින් දෙදෙනා ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

නොර්වුඩ් රංජිත් රාජපක්ෂ