රාවණා 01 නමැති චන්ද්‍රිකාව නිර්මාණය කළ අභ්‍යවකාශයට මුදාහැරීමේ කාර්යට දායක වෙමින්, ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ලබාදුන් දුලානි චාමිකා විතානගේ මෙනවිය, පසුගියදා
ජපානයේ සිට පළමු වරට තම මවුබිමට පැමිණීමෙන් පසු පිළිගැනීමේ උත්සවයක් ඇය අධ්‍යාපනය ලැබූ කොට්ටාව ධර්මපාල විද්‍යාලය හා මත්තෙගොඩ ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කොට තිබුණි.

ඒ අනුව කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනි කමනි ප්‍රියදර්ශනී මහත්මිය, ආචාර්ය මණ්ඩලය ඇතුඵ සිසු දරු දැරියන් පන්නිපිටිය මංසන්ධියේ සිට කොට්ටාව හන්දිය දක්වා පෙරහරකින් කැඳවාගෙන විත්, එතැන් සිට ධර්මපාල විද්‍යාලයේ අපරදිග තූර්ය වාදක කණ්ඩායම් හරසර මැදකොට්ටාව ධර්මපාල විද්‍යාලය අසලට කැඳවාගෙන එනු ලැබුණි.

පසුව ඇය උපන් මත්තෙගොඩ ප්‍රදේශය දක්වා රිය පෙරහරකින් කැදවාගෙන විත්, එහිදී පළමුව මත්තෙගොඩ ශ්‍රී සරණාධම්ම විහාරස්ථානයේදී විහාරාධිපති පුජ්‍ය හඟුරන්කෙත විමලධම්ම හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කර ආශිර්වාද කෙරිණි.

පසුව ශ්‍රී සරණ ධර්ම විහාරස්ථ දායක සභාව සහ සංඝමිත්තා කුලාඟන සමිතිය මඟින් දුලානි චාමිකා විතානගේ මෙනෙවිය, ලොවක් දිනමින් මවුබිමට ලබාදුන් කීර්තිය අගයා උපහාර තිළිණයක් විහාරාධිපති පූජ්‍ය හඟුරන්කෙත විමලධමිම හිමියන් විසින් දුලානි චාමිකා විතානගේ මෙනවියට පිරිනමන ලදී.

මෙහිදී රාවණ 01', චන්ද්‍රිකාවේ සම නිර්මාණ ශිල්පිනිය වන ඉංජිනේරු දුලානි චාමිකා විතානගේ තම සතුට මෙසේ පළ කළාය.

 "මට ඉතාම සතුටු දවසක්. මොකද 'රාවණ 1" චන්ද්‍රිකාව නිර්මාණය කර අභ්‍යාවකාශයට මුදාහැරීමෙන් පසුව පළමු වරට ලංකාවට ආවේ අද.මේ වෙලාවේදී මගේ පාසැල් විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය සහෝදර සිසු සිසුවියන් සහ ආදි ශිෂ්‍ය සංගමය මා පිළිගැනීමට ලක්කිරීම ඉතා සතුටට පත්වන අවස්ථාවක්.

ඒ වගේම මා සිදුකළ කාර්ය අගයමින් මගේ ගමේ පන්සලෙන් මාව අගය කිරීම ජීවිතයේ ලද ලොකු භාගයයක්. ඇත්තෙන්ම කියන්නෙ ඕනි, ආතර් සී ක්ලාක් මධස්ථානය හා මගේ ආචාර්ය සනත් පනාවැන්න මහතා නොවන්නට "රාවණා 01’චන්ද්‍රිකාවක් බිහි නොවේවි.

ඒ අයගේ උදවු නිසා තමයි මම අද මෙතැන ඉන්නේ, ඔවුන් මට ලබාදුන් අවස්ථාව උපරිමයියන් ප්‍රයෝජනයට ගෙන මම 'රාවණ 01’ චන්ද්‍රිකාව නිර්මාණය කළා. ඉත්පස්සේ මේ රටේ විශාල පිරිසක් මාව අගය කරලා කතා කළා. ඒ හැමෝටම ස්තුතියි. ඒවගේම අභ්‍යවකාශ තාක්ෂණයට උනන්දු වන සියලුදෙනාට උදවු කරන්නං මම ඉතාම කැමැත්තෙන් ඉන්නවා.

ඒ වගේම කිව යුතුයි මම අද ලංකාවට එන්න කලින් ඇමරිකාවේ වොෂින්ටන් නුවරෙ පැවැත්වුණූ ඉන්ටනැෂනල් ඇස්නොටිකල් කන්ග්‍රස් අභ්‍යවකාෂ තාක්ෂණය පිළිබඳ ලොව පවතින විශාලුතම සමුළුවට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණ. එහිදී 'රාවණා 01’චන්ද්‍රිකාව පිළිබදවත්, නේපාල් චන්ද්‍රිකාව පිළිබදවත් ශ්‍රී ලංකාවට අභයවකාශ තාක්ෂණය අවශ්‍ය ඇයි කියන කාරණය පිළිබඳවත් දේශනයක් පවත්වන්නට අවස්ථාව ලැබුණි. ඉන් විශාල ප්‍රතිචාරයක් ලංකාවට ලැබුණා.

ඒ වගේම 'රාවණ 01'. චන්ද්‍රිකාව නිර්මාණය කිරීමෙන් අනතුරුව ඇයට ජපානයේ කියුෂු ඉන්ස්ටිටියුට් ඔතේ ටෙක්නොලජි ආයතනයෙන් අභ්‍යවකාශ තාක්ෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් හදාරන්න මට ශිෂ්‍යත්වයක් ලැබුණා."

මත්තෙගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න