දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්වයන් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ඊයේ (29) පෙරවරුවේ විශාල වශයෙන් ඉහළ ගොස් පැවති බව ව්‍යාපාරිකයෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීම, ලැබෙන එළවළු නිසි ප්‍රමිතියකින් තොර වීමට
හේතුවෙන් ඉල්ලුම වැඩි වී මෙයාකාරයෙන් මිල ඉහළ යැම සිදුව ඇති බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.

අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 250ක් ද කරවිල කිලෝවක තොග මිල රුපියල් 250ක් ද මාළුමිරිස් කිලෝවක් රුපියල් 300කට ද කැරට් කිලෝක් රුපියල් 260කට ද ඊයේ (29) පෙරවරුවේ අලෙවි වූ බව ව්‍යාපාරිකයෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (29) ලැබුණු එළළුල තොග මිල මෙසේ සටහන්ව තිබිණි.
අමුමිරිස් කිලෝවක් රුපියල් 250යි, කරවිල කිලෝවක්  රුපියල් 250යි, මාලුමිරිස් කිලෝක් රුපියල් 300යි, ගෝවා කිලෝවක් රුපියල් 120යි. කැරට් කිලෝවක් රුපියල් 260යි. දඹල කිලෝවක් රුපියල් 140යි. බෝංචි කිලෝවක් රුපියල් 100යි, තුඹ කරවිල කිලෝවක් රුපියල් 240යි, මෑකරල් කිලෝවක් රුපියල් 140යි, වම්බටු කිලෝවක් රුපියල් 70යි, නෝකෝල් කිලෝවක් රුපියල් 80 ලෙස සටහන්ව තිබිණි.

සිල්ලර වෙළෙඳපොළේ එළවළු වර්ගවල මිල මිට වඩා දෙගුණයකින් පමණ වැඩි වී තිබූ බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

උත්සව සමය සහ වර්ෂාවත් සමග එළවළු ලැබීමේ අඩු ප්‍රවණතාවය ඉල්ලුම වැඩිවීම ජනවාරි මාසය පමණ එනතුරුත් පැවතිය හැකි යැයි කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා සඳහන් කළේය.


(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)