"තට්ටු මාරුවට ප්‍රධාන පක්ෂ්‍ දෙකේ අපේක්ෂකයකු ජනාධිපති කිරීමේ සම්ප්‍රදාය අවසන් කර මුස්ලිම්වරුන්ගේ දෙවැනි මනාපය මෙවර තීරණාත්මක ලෙස භාවිත කළ යුතු" යැයි ජනාධිපතීවරණයට ස්වාධින අපේක්ෂකයකු
ලෙස තරග කරන ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා තම ප්‍රතිප්ත්ති ප්‍රකාශය එළිදක්වමින් කොළඹ දී පෙරේදා (28) පැවැසිය.

ප්‍රධාන පෙළේ කිසිදු අපේක්ෂකයකුට ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනහකට වඩා ගැනීමට නොහැකි යැයි ද එහිදී තමාට ඡන්දය දෙන මුස්ලිම්වරුන්ගේ දෙවැනි මනාපය තීරණාත්මක සාධකය බවට පත්කර ගත යුතු යැයි ද ඔහු කීය.

 ඉදිරි දින පහ ඇතුළත තම ප්‍රතිපත්ති ප්‍රකාශය සියලුම ජනාධිපති අපේක්ෂිකයන්ට ඉදිරීපත් කරන බව කී හෙතෙම, ඊට සහාය දැක්වීමට කැමැති පාර්ශ්වය සමග එකගතාවකට එළඹිය හැකි යැයි ද පැවසීය.

පැවැති ආණ්ඩුවලින් මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් නොලැබුණු පරිසරයක මේවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකත්වයට යෝජනා කළ ද ඔහු එය ප්‍රතික්ෂේප්ප කළේ යැයි ද තමා තරග කිරීමට තීරණය කළේ ඉත්පසුව යයි ද ඔහු කීය.

කොළඹ 07, පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයේදී හිස්බුල්ලා මහතා මෙසේ ද කීය.
පාස්කු ප්‍රහාරය එල්ලවෙන්න කලින් බුද්ධි අංශ විසින් දින ගණනාවක් එක දිගට 97 වතාවක් ඒ ගැන අනතුරු අගවා තිබුණා. අසවල් තැන්වලට අසවල් වේලාවේ පහර දෙනවා යැයි තොරතුරු සහිතව දන්වා තිබුණා. බෝම්බ පුපුරනතුරු ආණ්ඩුව නිහඩව සිටියා. ඊට පස්සේ ඊට වග කිවයුත්තේ මුස්ලිම් සමාජය යැයි මතයක් නිර්මාණය වුණා. දැන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවක් ඇවිත් තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්න ගියාම මුස්ලිම් සමාජයට විශාල බලපෑමක් එල්ල වේවි.

ඉස්ලාමීය ත්‍රස්තවාදයට විසඳුම් දීමට විදේශීය විශේෂඥයන් ඕනෑ යැයි කියනවා. ලිබියාවට, සිරියාවට, ඇෆ්ගනිස්ථානයට ඇතුළු වී මුස්ලිම්වරුන් නැති කරපු බලවේග ගෙනත් ලංකාවේ ඉස්ලාම් සංවිධාන ගැන හොයන්න ඕනෑ යැයි කියනවා. මා ඔවුන්ට කියන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න කියලයි. මා වැරැදි යැයි කියන ඕනෑම කෙනෙකු සමග විවාද කරන්න මම ලෑස්තියි.

පාර්ලිමේන්තු දේශපාලනයේ සිටින ජ්‍යෙෂ්ඨතමයා මමයි. ෆවුසි හා හකීම් යන මහත්වරුත් පාර්ලිමේන්තු ආවේ මට පසුවයි.

මේ ජනාධිපතිවරණයට තරග කළ යුතුව
තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයායි. නසීර් මහතා ඒ යෝජනාව කළත් හකීම් එය ප්‍රතික්ෂේප කළා. ඉන්පසු අපි ආගමික නායකයකු ඉදිරිපත් කිරීමට සාකච්ඡා කළා. දවසක් පුරා ඒ ගැන කළ සාකච්ඡාවකින් පසුව ආගමික නායකයකු ඉදිරිපත් කිරීමෙන් අපේ ප්‍රශ්නවලට පිළියම් සෙවීම අපහසුය යන තීරණයකට ආවා. මට තරග කරන්නැයි ඉල්ලීම ආවේ ඉන්පසුවයි.

අපේ අදහස නම් කිසිදු ජනාධිපති අපේක්ෂකයකු පළමු වටයෙන්ම සියයට පනහ ගන්නේ නෑ. ජයගන්නේ මට දෙන දෙවැනි මනාපයේ හිමිකරුවායි. මට ඡන්ද දෙලක්ෂ පනස්දහසක් ගත හැකි යැයි උපකල්පනය කරනවා. ඒ කියන්නේ මුස්ලිම් සමාජයෙන් සියයට විස්සක්. හොදයි. ලක්ෂ දෙකහමාරක් නොගෙන හැට දාහක් ලැබුණා කියලා හිතමු. අපේක්ෂකයන්ට සීයට පනහ ඉක්මවීමට පනස්දහසක් ඡන්ද ඕනෑ වුණාත් අපේ ඡන්ද තීරණාත්මක වෙනවා. එතකොට ජනාධිපතිවරයා තීරණය කළ කණ්ඩායම විදියට අපිට ඉදිරියට යන්න පුළුවන්. මම මේ කතා කළේ හැටදාහක් ගැනයි. මේක ලක්ෂ අටක් විතර වුණොත් කාටවත් හිතාගන්නවත් බැරි වේවි. මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගෙන ඉදිරි දින පහේ දී සියලුම ජනපති අපේක්ෂකයන් මුණ ගැසීමට වෙනම ශාස්ත්‍රීය උගතුන් පිරිසක් සිටිනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහාය දක්වන තැනැත්තා සමඟ එතඟතාවයකට පැමිණීමට අපට පුළුවන් යැයිද ඔහු කීය.

බිඟුන් මේනක ගමගේ