දින කිහිපයක් තිස්සේ සිදුවන දුම්රිය ප්‍රමාදයන් හේතුවෙන් දුම්රිය මගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතරදී ඊයේ (16) දිනයේදී ද දුම්රියක් පීලි පැනීම හේතුවෙන් පස්වරුවේ
සියලු දුම්රිය ප්‍රමාද විය. මරදාන සහ කොළඹ දුම්රිය පීලි පැනීම සිදුව තිබුණේ ඊයේ (16) පස්වරු 1.00ට  පමණ වුවක් පරු 6.00 පමණ වන තුරුත්  එය පීලිගත කර මාර්ගය පිළිසකර කිරිමට නොහැකි වී තිබිණි. මේ අතර ඊයේ (16) උදෑසන ද කාර්යාලයීය දුම්රිය ප්‍රමාදයක් සිදුවිය.

උදෑසන ඇතැම් කාර්යාල දුම්රියන් පැමිණියේ විනාඩි 30, 40 වැනි කාලයක් ප්‍රමාද වෙමිනි. සති දෙකක පමණ කාලයක් තිස්සේ මගීන් පිඩාවට පත්කළ දුම්රිය වර්ජනය ඉකුත් 7 වැනිදා අවසන් වූ  නමුත් මේ වන තුරුත් දිගින් දිගටම සිදුවන දුම්රිය ප්‍රමාදයන් හා දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම් ආදිය නිසා දුම්රිය ප්‍රමාද වූ බව වාර්තා විය.

කොළඹ කොටුවේ සිට පස්වරු 6.00ට මහව හන්දිය බලා ධාවනය වන දුම්රිය පෙරේදා  (15) මරදාන දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබූ අතර එය මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්වී තිබුණේ රාත්‍රී 8.00ට පමණය.කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් ඉකුත් 11 වැනිදා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය.

විශේෂයෙන්ම කාර්යාල සේවකයන් පැමිණෙන සහ ආපසු නිවෙස් කරා ගමන් ගන්නා වේලාවේදී සිදුවන මෙම දුම්රිය ප්‍රමාදයන් නිසා නියමිත වේලාවට කාර්යාලයට යෑමට නොහැකිවිමේන්, ප්‍රමාදවි නිවෙස් කරා යන්නට සිදුවීමක් නිසා ඔවුහු දැඩි පීඩාවකට පත්ව සිටිති. දුම්රිය මගීන් පවසන්නේ විවිධ දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම හේතු ලෙස දක්වමින් දිනපතා සිදුවන මෙම ප්‍රමාදයන් සැලසුම් සහගතව සිදුවන්නක් ද යන්න ගැන සැකයක් ඇති බවය.පසුගිය දිනවල සිදුවූ වැඩ වර්ජනය අසාර්ථක වූ නිසා ඔවුන් මගී ජනතාව සිතාමතා පීඩා කරනවා විය හැකි බවට ද ඔවුහු චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය  ගමනාගමන අධිකාරී ඩී.එස්. පොල්වත්ත මහතා  පැවැසුවේ දුම්රිය ධාවනය පමා කරන බවට  නැගෙන චෝදනා ප්‍රතිකේෂ්ප කරන බවයි.  පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය මෙන්ම මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (16) සිදුවූ දුම්රිය පීලි පැනීම ඊයේ සහ පෙරේදා දිනවල සිදුවූ දුම්රිය ප්‍රමාදයට හේතුව බව ද ඔහු කීවේය. දුම්රිය ප්‍රමාදයන් හැකි තරම් අවම කරමින් මඟී ජනතාවට කාර්යක්ෂම සේවයක්  ලබාදීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හැකි සෑම  උත්සාහයක්ම ගන්නා බව ද ඔහු වැඩිදුරටත්  සඳහන් කළේය.

-ඩයනා උදයංගන-