දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට යටත් වීමට සුදානම් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි. එම පක්ෂයේ නායක,විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියේ, දෙමළ
ජාතික සන්ධානය විසින් දෙපාර්ශ්වයකට කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි පැවසූවත් සිය පාර්ශ්වය වෙත කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවයි. එසේ වුවද එලෙස කොන්දේසි ලබාගැනීමට හෝ ඒවාට එකඟ වීමට හෝ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවද සදහන් කළ මහින්ද රාජපක්‍ෂ මහතා, සියල්ලටම වඩා රටට ප්‍රමුඛතාව ලැබිය යුතු බවත්, එසේම රට බෙදන්නට කිසිවෙකුටත් ඉඩ තැබිය නොහැකි බවත් අවධාරණය කර සිටීයේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා බෙලිඅත්ත නගරයේදී ඊයේ (21දා) පැවැති ජනරැළියකදී මේ
පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ මහින්ද රාජපකෂ මහතා,
"ටී.එන්.ඒ. එකේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය පමණයි මේ අය ගත්තේ. කිසිම වැඩක් කර නැහැ.

එදාට වඩා පිරිසක් අපට දැන් එහේ ඉන්නවා, ටී.එන්.ඒ. එකෙන් කොන්දේසි වගයක් දාලා තිබෙනවා දෙගොල්ලන්ටම. මට නම් තවම ලැබුණේ නැහැ. මට ලබාගන්න ඕන කමකුත් නැහැ. ටී.එන්.ඒ. එක් කිසිම කොන්දේසියකට යටත් වෙන්න අපි සූදානම් නැහැ. අපට රටක් ඕනෑ. රට කඩන්න දෙන්න බැහැ. රට රැකගැනීමට අපි ඕනෑම දෙයක් කරන්න සූදානම්, ජාතියක් වශයෙන් අපට ගත යුතු තීන්දුවක් තිබෙනවා.  වසර තිහක් තිබුණු යුද්ධය අපි අවසන් කළා, උතුරේ අයට දකුණට එන්න මාවත හැදුවේ අපි. එහෙම තියද්දී ආණ්ඩුව පෙරළුනා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විතරයි මට ලක්ෂයකට වැඩි ඡන්දය ලබා දුන්නේ. මට මේක අමතක කරන්න බැහැ. ඉතිහාසයේ කවදාවත් නැති විදියට අපි මෙවර මැතිවරණය ජයග්‍රහණය කරනවා, අප්‍රේල් 21 වැනිදා මේ රටේ ජනතාව මහත් බියකට පත් කළා. අප්‍රේල් 05 වැනිදා සියලුම කරුණු දන්වා තිබුණත් මුස්ලිම් ජනතාවගේ ඡන්දය නිසා මේවාට කිසිදු පිළියමක් කළේ නැහැ. මොවුන්ට මුස්ලිම් ජනතාවම ඔත්තු සපයා තිබුණා. අන්තවාදීන් හඳුනා ගත්තා,
මුස්ලිම් ඇමතිවරයෙකුගේ ඉල්ලීම පරිදි නිදහස් කළා. අන්තිමේදී හාරසිය ගාණක් මැරුණ. ඒවාට වගකියන්න ඕන ආණ්ඩුව, මේ අය දැන් වගකීමෙන් මිදෙන්න හදනවා. ඇයි මොවුන්ව නිදහස් කළේ.

දැන් හුඟක් අයට රණවිරුවන්ව මතක් වෙනවා. සර්වාංගෙම දෙනවලු. ජනතාව එක්ක අත්වැල් බැඳගෙන මැරෙනවලු. ජනතාව අතැරලා ඕන නම් මැරෙන්න. මට පේන්නේ ප්‍රේමදාස පුතාගේ හතුරා ඔහුගේ කටමයි. අපට කතා කරන්න දෙයක් නැහැ, එතුමා කතා කළාම ඇති. ඒ නිසා එතුමාට උපදෙසක් දෙන්න ඕන කතා නොකර ඉන්න තරමට ඇඟට ගුණයි කියලා. එතුමාට කතා නොකර ඉන්න බැහැ,

එතුමාට ඔය විදියටම යන්න ඉඩ දෙමු. රට කරවන්න පුළුවන් කියලා සමහරු හිතනවා. අපි සාමය ඇති කරනවා කිව්වා. එය අපි ඇති කළා. අද ඇල්පිටිය බෝමිබ එකතු කරනවා. මේ තත්ත්වය අපි හිතන්න ඕන. යුද්ධ කරන්න සල්ලි කොහෙද කියලා ඇහුවා. අපි යුද්ධය අවසන් කරලා පෙන්නුවා. අද බෙලිඅත්ත දුම්රිය මාර්ගය නැවතිලා. අපි හිටියා නම් කතරගමටම හදලා ඉවරයි. අධිවේගී මාර්ගය වසර ගණනාවක් ප්‍රමාද වුණා. මේවා විවෘත කරලා බෝඩ් ගහගන්න පුළුවන්. නමුත් මේවා මෙහාට
ගෙනාවේ කවුද කියලා ජනතාව දන්නවා. මොනතරම් බොරු කිව්වත් ජනතාව රවටන පුළුවන්කමක් නැහැ, ආණ්ඩුවට අයිතියක් නැහැ තව අවුරුදු දහසකින් ඉපදෙන දරුවාට අයිති දේපළ විකුණන්න. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන අඩපණ වුනේ ඒ අයගේ ක්‍රියාකලාපය නිසායි.යනුවෙන්ද පැවසීය.

නිදර්ශනී වික්‍රමසිංහ/අමීෂා මාගලගේ